+1-778-834-5353 info@namaroopa.com
Select Page

මජ්ඣිම නිකාය – මූලපණ්ණාසක (මුල් සූත්‍ර පණස.) – 4. මහා යමක වර්ගය – 38. මහා තණ්හා සංඛය සූත්‍රය

කෙවට්ටපුත්‍ර වූ සාති නම් භික්ෂුවට පහලවූ ලාමක වූ මිථ්‍යා දෘෂ්ටියක් එනම් “මේ එකම විඥානය (භවයෙන් භවයට උත්පත්ති වසයෙන්) දුවයි, හැසිරෙයි අනිකක් නොවෙයි. භාග්‍යවතුන් වහන්සේ විසින් එසේ ධර්මය දෙශනා කරනලද බව මම දනිමි” (කියායි.)

 

[google-drive-embed url=”https://drive.google.com/file/d/0B3hiP3jLwigFanhJS1dlaUZtTGM/preview?usp=drivesdk” title=”20161218_HandOut_මහාතණ්හාසඞ්ඛය සූත්‍රය – Maha Thanhaa Sankaya Sutta_MN_38.pdf” icon=”https://ssl.gstatic.com/docs/doclist/images/icon_12_pdf_list.png” width=”100%” height=”800″ style=”embed”]

මේ සූත්‍රය සම්බන්ධයෙන් මේ වනවිට අන්තර්ජාලය තුල අඩංගුවී ඇති කරුණු ප්‍රමාණය ඉතා සීමිතය. එසේ සොයාගත් යම් යම් දේශානා පහත දක්වා ඇත්තේ නැවත මේ ගැන සොයන්නාගේ පහසුව පිණිසයි.

 

මේ සූත්‍රය ඉතා විස්තරාත්මකව සාකච්ඡා කර ඇති අවස්ථාවක් – මෙය English භාසාවෙන් ඇත.

Maha Thanha Sankaya Sutta_July 2013_Florida-U.S.A.

https://archive.org/details/NissaranaSutta57

පිටක.lk – මෙතනින් කියවන්න…

සූත්‍රයට අදාලව උපුටා ගත් කොටස් කීපයක් පහතින් දැක්වේ.

“සාතිය, තොප කියන ඒ විඥානය කුමක්ද?”

“ස්වාමීනි, යමෙක්තෙම කථාකෙරේද? සැපදුක් විඳීද? ඒ ඒ භවයෙහි කුසලාකුසල වූ කර්මයන්ගේ විපාකය විඳීද (මාකියන විඤ්ඤාණය) ඒය.”

“හිස් පුරුෂය, කවරෙකුට නම් මා විසින් මෙසේ ධර්මය දෙශනා කරනලද බව තෝ දන්නෙහිද? හිස් පුරුෂය, මාවිසින් නොයෙක් ආකාරයෙන් විඤ්ඤාණය ප්‍රත්‍යයෙන් උපදින්නේයයි කියන ලද්දේ නොවේද? ප්‍රත්‍යයෙන් තොරව විඤ්ඤාණයාගේ හටගැන්මක් නැතැ’යි කියන ලද්දේ නොවේද? එසේ තිබියදීත් හිස් පුරුෂය, තෝ තමා වරදවා ගත් මතයෙන් අපටද දොස් නගන්නෙහිය, තමාද නැසෙන්නෙහිය, බොහෝ පව්ද රැස්කර ගන්නෙහිය. හිස් පුරුෂය, තොපට මෙය බොහෝ කලක් අහිත පිණිස, දුක් පිණිස පවතින්නේය.”

“මහණෙනි, යම් යම් ප්‍රත්‍යයක් නිසා විඥානය උපදීද, ඒ ඒ ප්‍රත්‍යයාගේ නාමයෙන්ම ඒ විඤ්ඤාණය ව්‍යවහාරයට යයි. ඇස නිසාද, රූප නිසාද, විඤ්ඤාණයක් උපදී. එය ‘චක්ඛු විඤ්ඤාණය’යි ව්‍යවහාරයට යයි. ශ්‍රොතය (කණ) නිසාද, ශබ්ද නිසාද විඤ්ඤාණයක් උපදී. එය ශ්‍රොත විඤ්ඤාණයයි ව්‍යවහාරයට යයි. ඝ්‍රාණය (නැහැය) නිසාද, ගඳ නිසාද, විඤ්ඤාණයක් උපදී. එය ඝාණවිඤ්ඤාණයයි ව්‍යවහාරයට යයි. දිව නිසාද, රස නිසාද, විඤ්ඤාණයක් උපදී. එය ජිව්හා විඤ්ඤාණයයි ව්‍යවහාරයටයයි. කය නිසාද ස්පර්ශ නිසාද විඤ්ඤාණයක් උපදී. එය කායවිඤ්ඤාණයයි ව්‍යවහාරයට යයි. මනස (හිත) නිසාද ධර්මනිසාද විඤ්ඤාණයක් උපදී. එය මනොවිඤ්ඤාණයයි ව්‍යවහාරයට යයි.

“මහණෙනි, යම් යම් ප්‍රත්‍යයක් නිසා යම්සේ ගින්න ඇවිලේද, ඒ ඒ දෙයෙහි නමින්ම ඒ ගින්න ව්‍යවහාරයට යයි. කාෂ්ටය (දර) නිසා ගින්න ඇවිලේද, එය කාෂ්ට ගින්නයයි ව්‍යවහාරයට යයි. සකලික (ගස් පතුරු) නිසා ගින්න ඇවිලේද, එය සකලික ගින්නයයි ව්‍යවහාරයට යයි. තෘණ (වියලි තණ කොල) නිසා ගින්න ඇවිලේද, එය තෘණ ගින්නයයි ව්‍යවහාරයට යයි. ගොමවැරටි නිසා ගින්න ඇවිලේද, එය ගොම වැරටි ගින්නයයි ව්‍යවහාරයට යයි ථුස (දහයියා) නිසා ගින්න ඇවිලේද, එය ථුස ගින්නයයි ව්‍යවහාරයට යයි. සංකාර (කුණු රොඩු) නිසා ගින්න ඇවිලේද, එය සංකාර ගින්නයයි ව්‍යවහාරයට යයි.

“මහණෙනි, ප්‍රත්‍යය නැතිවීමෙන් එයින් හටගත් යමක් ඇත්තේද එය නැති වන ස්වභාව ඇත්තේය යන කාරණය සම්බන්ධයෙන් සැක නැත්ද?”

“එසේය, නැත ස්වාමීනි.”

“මහණෙනි, උපන් සත්වයන්ගේ පැවැත්ම පිණිසද, සම්භවය (උත්පත්තිය) සොයන සත්වයන්හට අනුග්‍රහ පිණිසද පවතින මේ ආහාර සතරක් වෙත්. කවර සතරක්ද යත්:- දැඩිවූ හෝ සියුම් හෝ පිඩු කොට ගතයුතු ද්‍රව්‍යයෙන්යුත් කබලිංකාර ආහාරය, දෙවැනිවූ ස්පර්ශ ආහාරය, තුන්වැනිවූ මනොසඤ්චෙතනා ආහාරය, සතර වැනිවූ විඤ්ඤාණ ආහාරය යන සතරයි.

“මහණෙනි, මේ ආහාර සතර කුමක් නිදාන (මූල කාරණ) කොට ඇත්තාහුද? කුමක් උත්පත්තිකොට ඇත්තාහුද? කුමක් ජාතිකොට ඇත්තාහුද? කුමක් ප්‍රභවකොට ඇත්තාහුද? මේ සතර ආහාරයෝ තෘෂ්ණාව නිදානකොට ඇත්තාහ. තෘෂ්ණාව උත්පත්තිකොට ඇත්තාහ. තෘෂ්ණාව ජාතිකොට ඇත්තාහ. තෘෂ්ණාව ප්‍රභවකොට ඇත්තාහ.

“මහණෙනි, මේ තෘෂ්ණාවද, කුමක් නිදානකොට ඇත්තීද? කුමක් සමුදය (පහළවීමට හේතුව) කොට ඇත්තීද? කුමක් ජාතිකොට ඇත්තීද? කුමක් ප්‍රභවකොට ඇත්තීද?” තෘෂ්ණාව, වේදනාව නිදානකොට ඇත්තීය. වේදනාව සමුදය කොට ඇත්තීය. වේදනාව ජාතිකොට ඇත්තීය, වේදනාව ප්‍රභවකොට ඇත්තීය.

“මහණෙනි, මේ වේදනාවද කුමක් නිදානකොට ඇත්තීද? කුමක් සමුදයකොට ඇත්තීද? කුමක් ජාතිකොට ඇත්තීද? කුමක් ප්‍රභවකොට ඇත්තීද? වේදනාව ස්පර්ශය නිදානකොට ඇත්තීය. ස්පර්ශය සමුදයකොට ඇත්තීය. ස්පර්ශය ජාති කොට ඇත්තීය. ස්පර්ශය ප්‍රභවකොට ඇත්තීය.

“මහණෙනි, මේ ස්පර්ශයද කුමක් නිදානකොට ඇත්තේද? කුමක් සමුදයකොට ඇත්තේද? කුමක් ජාතිකොට ඇත්තේද? කුමක් ප්‍රභවකොට ඇත්තේද? ස්පර්ශය තෙම ෂඩායතන (ඉන්ද්‍රිය සය) නිදානකොට ඇත්තේය. ෂඩායතන සමුදය කොට ඇත්තේය, ෂඩායතන ජාතිකොට ඇත්තේය, ෂඩායතන ප්‍රභවකොට ඇත්තේය.

“මහණෙනි, මේ ෂඩායතනයෝ කුමක් නිදානකොට ඇත්තාහුද? කුමක් සමුදයකොට ඇත්තාහුද? කුමක් ජාතිකොට ඇත්තාහුද? කුමක් ප්‍රභවකොට ඇත්තාහුද? ෂඩායතනයෝ නාමරූපයන් නිදානකොට ඇත්තාහ. නාමරූපයන් සමුදයකොට ඇත්තාහ. නාමරූපයන් ජාති කොට ඇත්තාහ. නාමරූපයන් ප්‍රභවකොට ඇත්තාහ.

“මහණෙනි, මේ නාම රූපයෝද කුමක් නිදානකොට ඇත්තාහුද? කුමක් සමුදයකොට ඇත්තාහුද? කුමක් ජාතිකොට ඇත්තාහුද? කුමක් ප්‍රභවකොට ඇත්තාහුද? නාමරූපයෝ විඤ්ඤාණය නිදානකොට ඇත්තාහ, විඤ්ඤාණය සමුදයකොට ඇත්තාහ, විඤ්ඤාණය ප්‍රභවකොට ඇත්තාහ.

“මහණෙනි, මේ විඤ්ඤාණය කුමක් නිදානකොට ඇත්තේද? කුමක් සමුදයකොට ඇත්තේද? කුමක් ජාතිකොට ඇත්තේද? කුමක් ප්‍රභවකොට ඇත්තේද? විඤ්ඤාණය සංස්කාර නිදානකොට ඇත්තේය, සංස්කාර සමුදයකොට ඇත්තේය සංස්කාර ජාතිකොට ඇත්තේය, සංස්කාර ප්‍රභවකොට ඇත්තේය.

“මහණෙනි, මේ සංස්කාරයෝ කුමක් නිදානකොට ඇත්තාහුද, කුමක් සමුදයකොට ඇත්තාහුද, කුමක් ජාති කොට ඇත්තාහුද, කුමක් ප්‍රභවකොට ඇත්තාහුද, සංස්කාරයෝ අවිද්‍යාව නිදානකොට ඇත්තාහ, අවිද්‍යාව සමුදය කොට ඇත්තාහ, අවිද්‍යාව ජාතිකොට ඇත්තාහ, අවිද්‍යාව ප්‍රභවකොට ඇත්තාහ.

“මහණෙනි, මෙසේ වනාහි අවිද්‍යා ප්‍රත්‍යයෙන් (අවිද්‍යාව නිසා) සංස්කාරයෝ වෙති. සංස්කාරයන් නිසා විඤ්ඤාණය වෙයි. විඤ්ඤාණය නිසා නාමරූපයෝ වෙති. නාමරූපයන් නිසා ෂඩායතනයෝ වෙති. ෂඩායතනයන් නිසා ස්පර්ශය වෙයි. ස්පර්ශය නිසා වේදනාව වන්නීය. වේදනාව නිසා තෘෂ්ණාව වන්නීය, තෘෂ්ණාව නිසා උපදානය වෙයි. උපදානය නිසා භවය වෙයි භවය නිසා ජාතිය වන්නීය. ජාතිය නිසා ජරාවද, මරණයද, සොකය, වැලපීමය, කායික දුකය, චෛතසික දුකය (දොම්නසය), දැඩි වෙහෙසය, යන මොහු වෙත්. මෙසේ මේ සියලු දුක් රාශියගේ හටගැන්ම වෙයි.

….

“මහණෙනි, කරුණු තුනකගේ එක්වීමෙන් ගර්භයාගේ හටගැනීම වෙයි. මේ ලොකයෙහි මව්පිය දෙදෙනා එක්වූවාහු නමුත් මවුතොමෝත් ඔසප් නොවූවාද, ගන්ධර්වයා (ගර්භයෙහි ඉපදිය යුතු තැනැත්තා) එළඹ නොසිටියේවේද ඒතාක් ගර්භය හටගැනීමක් නොවේ. මෙහි, මවුපිය දෙදෙනා එක්වූවාහු වෙත්ද, මවුතොමෝත් ඔසප්වූවා වේද, ඉපදිය යුතු පුද්ගලයා එළඹ නොසිටියේ නම් ඒතාක් ගර්භය හටගැණීම නොසිදු වෙයි.

“මහණෙනි, යම් හෙයකින් මව්පිය දෙදෙන එක්වූවාහුද මව් තොමෝද ඔසප්වූවා වේද, ඉපදිය යුතු පුද්ගලයාත් එළඹ සිටියේ වේද, මේ කරුණු තුන එක්වීමෙන් ගර්භයාගේ හටගැනීම වෙයි, මහණෙනි, මව්තොම නවමසක් හෝ දසමසක් හෝ මහත්වූ ජීවිත සැකයෙන් යුක්තවූ ඒ මේ ගැබ කුසින් පාලනය කරයි. මහණෙනි, නවමසක් ඇවෑමෙන් හෝ දසමසක් ඇවෑමෙන් හෝ මහත් සැකයෙන් යුක්තව ඒ දරුගැබ වදයි. මවුතොමෝ උපන්නාවූ මොහු සිය ලෙයින් පොෂ්‍ය කරයි. මහණෙනි, තනකිරිය යි යමක් වේද, එය මේ ශාසනයෙහි ‘ලේ’ යයි ව්‍යවහාර වෙයි.

“මහණෙනි, ඒ මේ කුමාර තෙම වැඩීමට පැමිණ, ඉන්ද්‍රියයන්ගේ මේරීමට පැමිණ, කුමරුවන්ගේ යම් ක්‍රීඩා භාණ්ඩයෝ වෙත්ද, එයින් සෙල්ලම් කරයි. එනම්:- (ගම්දරුවන් සෙල්ලම් කරන) කුඩා නගුල්ය, ගුඩු ගැසීමය, රෝද ගැසීමය, හුළංපෙති කරකැවීමය, වැලි කෙළීමය, කුඩාරථ පැදීමය, කුඩා දුනුවලින් විදීමය (යන සෙල්ලම් කරයි.)

“මහණෙනි, ඒ මේ කුමාරතෙම වැඩීමට පැමිණ, ඉන්ද්‍රියයන්ගේ මේරීමට පැමිණ, පංචකාම සම්පත්තියෙන් සම්පූර්ණ වූයේ, යුක්තවූයේ ඉන්ද්‍රියයන් පිනවයි. ඇසින් බලා දතයුතුවූ යහපත්වූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇති, ආසාව ඇති කරන්නාවූ, සිත් අලවන්නාවූ රූපයන්ගෙන්ද, කණින් අසා දතයුතුවූ යහපත්වූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇති ආසාව ඇති කරන්නාවූ, සිත් අලවන්නාවූ, ශබ්දයන් ගෙන්ද, නාසයෙන්ද විඳ දතයුතුවූ යහපත්වූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇති, ආසාව ඇති කරන්නාවූ, සිත් අලවන්නාවූ ගන්ධයෙන්ද, දිවෙන් විඳ දතයුතුවූ යහපත්වූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇති, ආසාව ඇති කරන්නාවූ, සිත් අලවන්නාවූ, රසයෙන්ද, කයින් විඳ දතයුතුවූ යහපත්වූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇති, ආසාව ඇති කරන්නාවූ, සිත් අලවන්නාවූ ස්පර්ශයෙන්ද, (පස්කම් සැප විඳියි)

“හෙතෙම ඇසින් රූපය දැක, ප්‍රිය ස්වභාව ඇති රූපාරම්මණයෙහි ඇලෙයි. ප්‍රිය ස්වභාව නැති රූපයෙහි නොසතුටට පැමිණෙයි. ශරීරය පිළිබඳව සිහිය නැතිව, අකුසල් සිත් ඇතිව වාසය කරයි. යම් තැනෙක ඔහුගේ මේ ලාමක අකුසලයෝ ඉතිරි නොවී නැති වෙත්ද, ඒ චෙතො විමුක්තිය හෝ ප්‍රඥා විමුක්තිය හෝ නොදනියි.

….

“හෙතෙම මෙසේ රාගයට හා ද්වෙෂයට (තරහවට) පැමිණියේ සැපවූද, දුක්වූද, උපෙක්ෂා සහගතවූද, යම්කිසි වේදනාවක් විඳීද, හෙතෙම ඒ වේදනාව තෘෂ්ණා වසයෙන් ගෙන සතුටු වෙයි. අනේ සැපයයි කියයි. එහිම ගිලී සිටියි. ඒ වේදනාවෙන් සතුටු වන්නාවූ, එය සැපයයි කියන්නාවූ, එහිම ගැලී සිටින්නාවූ ඔහුට තණ්හාව උපදියි. වේදනාවන් කෙරෙහි යම් තෘෂ්ණාවක් වේද, එය උපාදානයයි. ඕහට උපාදාන ප්‍රත්‍යයෙන් භවය වෙයි. භවය ප්‍රත්‍යයකොට ජාතිය වෙයි. ජාතිය ප්‍රත්‍යයකොට ජරාවය, මරණය, ශොකය, වැළපීමය, කයෙහි දුකය, සිතෙහි දුකය, දැඩි වෙහෙසය යන මොවුහු ඇති වෙත්. මෙසේ මේ සියලු දුක් රාසිය ඇතිවීම වෙයි.

“මහණෙනි, එසේම මේලොකයෙහි අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ, විද්‍යාචරණ සම්පන්නවූ, යහපත් ගති ඇත්තාවූ, සියලු ලෝකයන් දන්නාවූ, ශ්‍රෙෂ්ඨවූ, හික්මවිය යුතු පුරුෂයන් දමනය කිරීමෙහි රියැදුරෙකු වැනිවූ, දෙවිමිනිසුන්ට ගුරුවරයෙක්වූ, චතුස්සත්‍යය අවබොධ කළාවූ තථාගත කෙනෙක් මෙලොව උපදනාහ. ඒ තථාගත තෙමේ දෙවියන් සහිතවූ, මරුන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ, දෙව් මිනිසුන් සහිතවූ, මේ ලොකය ස්වකීය විශෙෂ ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට ප්‍රකාශ කරයි. ඒ තථාගතයන් වහන්සේ මුල යහපත්වූද, මැද යහපත්වූ අවසානය යහපත්වූද, අර්ථ සහිතවූ, දස වැදෑරුම් අක්ෂර සම්පත්තියෙන් යුක්තවූ සියලු ආකාරයෙන් සම්පූර්ණවූ පිරිසිදුවූ, ශාසන බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කරති.

“ඒ ධර්මය ගෘහපතියෙක් හෝ, ගෘහපති පුත්‍රයෙක් හෝ, අන් කුල අතුරෙන් එක් කුලයක උපන්නෙක් හෝ අසයිද, ඔහු ඒ ධර්මය අසා තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරයි. ඔහු ඒ ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ මෙසේ සලකන්නේය. ‘ගිහිගෙයි විසීම අවහිර සහිතය. කෙලෙස් දූවිලි උපදින තැනකි. මහණකම වනාහි කිසිවක් නොමැති අවකාශය මෙන් නිදහස්ය. ගිහිගෙයි වසන්නහු විසින් සියලු ආකාරයෙන් සම්පූර්ණවූ, සියලු ආකාරයෙන් පිරිසිදුවූ, ලියවූ හක්ගෙඩියක් වැනි මෙම බ්‍රහ්මචරියාවෙහි හැසිරෙන්ට නොහැක්කේය. මම කෙස් දැළිරැවුලු කපාදමා සිවූරු හැඳ ගිහිගෙන් නික්ම සස්නෙහි මහණ වන්නෙම් නම් ඉතා යහපතැයි කියායි.

“හෙතෙම සිතින් ධර්ම අරමුණක් විඳ ප්‍රිය ස්වභාව ඇති ධර්මයෙහි නොඇලෙයි. අප්‍රිය ස්වභාව ඇති ධර්මයෙහි නොසතුටට නොපැමිණෙයි. ශරීරය පිළිබඳව සිහිය එළඹ සිටියේ, කුසල් සිත් ඇතිව වාසය කරයි. යම් තැනක ඔහුගේ ලාමකවූ අකුසල ධර්මයෝ සම්පූර්ණයෙන් විනාශ වෙද්ද, ඒ චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද ඇති සැටියෙන් දනී. හෙතෙම මෙසේ රාග ද්වෙෂ දෙකට නොපැමිණියේ, සැපවූද, දුක්වූද, උපෙක්ෂා සහගතවූද යම් කිසි වෙදනාවක් විඳීද, ඒ වෙදනාව තෘෂ්ණා වශයෙන් ගෙන සතුටු නොවෙයි, සැපයයි නොකියයි. (තෘෂ්ණාවෙන්) ගැලී නොසිටියි. ඒ වේදනාවෙන් සතුටු නොවන්නාවූ, (මගේයයි) නොකියන්නාවූ ඔහුට තෘෂ්ණාව නූපදී. ඒ තෘෂ්ණාවගේ නිරුද්ධ වීමෙන් (නැතිවීම) උපාදාන නිරොධය වෙයි. උපාදානයන්ගේ නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙයි. භවය නිරුද්ධ වීමෙන් ජාති (උත්පත්තිය) නිරුද්ධ වෙයි. ජාතිය නිරුද්ධ වීමෙන් ජරා, මරණ, සොක, වැළපීම්, කයෙහි දුක, සිතෙහි දුක, දැඩි වෙහෙස යන මොවුහු නිරුද්ධ (නැති) වෙත්. මෙසේ මේ සියලු දුක් රාසිය නැතිවීම වෙයි.

“මහණෙනි, තොපි මා විසින් සංක්ෂෙපයෙන් දෙශනා කරනලද තෘෂ්ණාක්ෂයවිමුක්ති ධර්මය නිතර දරව්, කෙවට්ට පුත්‍ර වූ සාති භික්ෂුව මහත් තෘෂ්ණා නැමැති දැලෙහි තෘෂ්ණා නැමැති අවුලෙහි ගැළුණෙකු කොට සලකව්.

Life and Birth – From Divaina News Paper Article

[google-drive-embed url=”https://drive.google.com/file/d/0B3hiP3jLwigFWlRhNFV3YTFxR0U/preview?usp=drivesdk” title=”Life and Birth – From Divaina News Paper Article.pdf” icon=”https://ssl.gstatic.com/docs/doclist/images/icon_12_pdf_list.png” width=”100%” height=”400″ style=”embed”]

Mahatanhasankhaya Sutta: The Greater Craving-Destruction Discourse
translated from the Pali by
Thanissaro Bhikkhu

https://deeperdhamma.podbean.com/e/mn38-mahatanhasankhaya-sutta-the-greater-discourse-on-the-destruction-of-craving-with-ajahn-brahmali/

sadaham sawana - යහපත් මාර්ගය - පූජ්‍ය අගලකඩ සිරිසුමන ස්වාමින් වහන්සේ