141. සච්චවිභංග සූත්‍රය
Read in Sutra Central : https://suttacentral.net/si/mn141
Read in English : https://suttacentral.net/pi/mn141
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි, භාග්‍යවතුන් වහන්සේ බරණැස් නුවර සමීපයෙහි මිගදාය නම්වූ ඉසිපතනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට “මහණෙනි, කියා ආමන්ත්‍රණය කළ සේක. “පින්වතුන් වහන්සැයි,” ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේ විසින් බරණැස්නුවර සමීපයෙහිවූ මිගදාය නම් ඉසිපතනාරාමයෙහිදී ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියකු විසින් හෝ මාරයකු විසින් හෝ බ්‍රහ්මයෙකු විසින් හෝ ලෝකයෙහි කිසිවෙකු විසිනුත් නොපැවැත්විය හැකි නිරුත්තරවූ ධර්මචක්‍රය පවත්වන ලදී. එනම්, චතුරාර්‍ය්‍ය සත්‍යයන්ගේ කීමය, දෙසීමය, පැනවීමය, පිහිටුවීමය, ප්‍රකාශ කිරීමය, විභාග කිරීමය, ප්‍රකට කිරීමය, (යනුයි.) කවර චතුරාර්‍ය්‍ය සත්‍යයන්ගේද? දුක්ඛ නම් ආර්‍ය්‍ය සත්‍යයාගේ කීමය, දෙසීමය, පැනවීමය, පිහිටුවීමය, ප්‍රකාශ කිරීමය, විභාග කිරීමය, ප්‍රකට කිරීමය, දුක්ඛ සමුදය නම් ආර්‍ය්‍ය සත්‍යයාගේ කීමය, දෙසීමය, පැනවීමය, පිහිටුවීමය, ප්‍රකාශ කිරීමය, විභාග කිරීමය, ප්‍රකට කිරීමය. දුක්ඛ නිරොධ නම් ආර්‍ය්‍ය සත්‍යයාගේ කීමය, දෙසීමය, පැනවීමය, පිහිටුවීමය, ප්‍රකාශ කිරීමය, විභාග කිරීමය, ප්‍රකට කිරීමය, දුක්ඛ නිරොධගාමිනී ප්‍රතිපදා නම් ආර්‍ය්‍ය සත්‍යයාගේ කීමය, දෙසීමය, පැනවීමය, පිහිටුවීමය, ප්‍රකාශ කිරීමය, විභාග කිරීමය, ප්‍රකට කිරීමය, (යන සතරයි). මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේ විසින් බරණැස් සමීපයෙහිවූ මිගදාය නම් ඉසිපතනාරාමයෙහි මහණෙකු විසින් හෝ බමුණෙකු විසින් හෝ දෙවියකු විසින් හෝ මාරයෙකු විසින් හෝ බඹෙකු විසින් හෝ ලොව කිසිකෙනෙකු විසිනුත් නොපැවැත්විය හැකි නිරුත්තරවූ ධර්මචක්‍රය පවත්වන ලදී. එනම්, මේ සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ කීමය, දෙසීමය, පැනවීමය, පිහිටුවීමය, ප්‍රකාශ කිරීමය, විභාග කිරීමට, ප්‍රකට කිරීමය.
“මහණෙනි, ශාරීපුත්‍ර මොග්ගල්ලායනයන් සේවනය කරව්. මහණෙනි, ශාරීපුත්‍ර මොග්ගල්ලානයන් භජනය කරව්. පණ්ඩිතවූ (ඒ) භික්ෂූහු බඹසර ඇත්තවුන්ට අනුග්‍රහ කරන්නාහුය. මහණෙනි, වැදූ මව යම්සේද ශාරීපුත්‍ර තෙමේ එමෙනි. උපන්නහුගේ පොෂණය කරන්නාවූ මව යම්සේද, මොග්ගල්ලාන තෙමේ එවැනි වේ. මහණෙනි, ශාරීපුත්‍ර තෙමේ සෝවාන් ඵලයෙහි හික්මවයි. මොග්ගල්ලාන තෙමේ ඉහළ ඵලයන්හි හික්මවයි. මහණෙනි, ශාරීපුත්‍ර තෙම චතුරාර්‍ය්‍ය සත්‍යයන් විස්තර වශයෙන් කියන්ට දෙශනා කරන්ට පනවන්ට පිහිටුවන්ට විචරණය කරන්ට විභාග කරන්ට ප්‍රකට කරන්ට සමර්ථවේයයි.” භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය. සුගතයන් වහන්සේ මෙය වදාරා හුනස්නෙන් නැගිට විහාරයට වැඩිසේක.
එකල්හි වනාහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ බැහැර ගිය නොබෝ කල්හි භික්ෂූන්ට “ඇවැත් මහණෙනියි” ආමන්ත්‍රණය කළ සේක. “ඇවැත්නි,” කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්ට උත්තර දුන්හ. ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිර තෙමේ මෙය ප්‍රකාශ කෙළේය. “ඇවැත්නි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේ විසින් බරණැස්නුවර මිගදාය නම්වූ ඉසිපතනාරාමයෙහි මහණෙකු විසින් හෝ බමුණෙකු විසින් හෝ දෙවියකු විසින් හෝ මාරයකු විසින් හෝ බඹෙකු විසින් හෝ ලොව කිසිවෙකු විසින් හෝ නොපැවැත්විය හැකි නිරුත්තරවූ ධර්මචක්‍රය පවත්වන ලදී. එනම්, මේ චතුරාර්‍ය්‍ය සත්‍යයන්ගේ කීමයි, දෙසීමයි, පැනවීමයි, පිහිටුවීමයි, ප්‍රකාශ කිරීමයි, විභාග කිරීමයි, ප්‍රකට කිරීමයි. කවර සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේද? දුක්ඛ නම් ආර්‍ය්‍ය සත්‍යයාගේ කීමය දෙසීමය, පැනවීමය, පිහිටුවීමය, ප්‍රකාශ කිරීමය, විභාග කිරීමය, ප්‍රකට කිරීමය, දුක්ඛ සමුදය නම් ආර්‍ය්‍ය සත්‍යයාගේ දෙසීමය, පැනවීමය, පිහිටුවීමය, ප්‍රකාශ කිරීමය, විභාග කිරීමය, ප්‍රකට කිරීමය. දුක්ඛ නිරොධ නම් ආර්‍ය්‍ය සත්‍යයාගේ කීමය, දෙසීමය, පැනවීමය, පිහිටුවීමය, ප්‍රකාශ කිරීමය, විභාග කිරීමය, ප්‍රකට කිරීමය. දුක්ඛ නිරොධගාමිනී ප්‍රතිපදා නම් ආර්‍ය්‍ය සත්‍යයාගේ කීමය, දෙසීමය, පැනවීමය, පිහිටුවීමය, විවරණය, විභාග කිරීමය, ප්‍රකට කිරීමය, (යනුයි).
“ඇවැත්නි, දුක්ඛ නම් ආර්‍ය්‍ය සත්‍යය කවරේද? ඉපදීමද දුක්වේ. දිරීමද දුක්වේ. මැරීමද දුක්වේ. සොක කිරීමය, වැලපීමය, කායික දුකය, දොම්නසය, දැඩි වෙහෙසය යන මොහුද දුක් වෙත්. කැමැති වන්නාවූ යමක් නොලැබේද, එයද දුක් වේ. කොටින්, පස්වැදෑරුම් උපාදාන ස්කන්ධයෝ දුක් වෙත්.
“ඇවැත්නි, ඉපදීම නම් කවරීද,
ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව වර්ගයෙහි යම් ඉපදීමක්, හටගැනීමක්, පිළිසිඳීමක්, පහළවීමක්, ස්කන්ධයන්ගේ පහළවීමක්, ආයතනයන්ගේ ප්‍රතිලාභයක් වේද, ඇවැත්නි, මෙය ජාතියයි කියනු ලැබේ. (ඉපදීමයයි කියනු ලැබේ).
“ඇවැත්නි, ජරාව කවරීද?
ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව වර්ගයෙහි යම් ජරාවක්, දිරණ බවක්, කැඩෙන බවක්, පැසෙන බවක්, රැලි වැටුනු සිවිය ඇති බවක්, ආයුෂයාගේ පිරිහීමක්, ඉන්ද්‍රියන්ගේ මේරීමක් වේද, ඇවැත්නි, මෙය ජරාවයයි කියනු ලැබේ.
“ඇවැත්නි, මරණය කවරේද?
ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව වර්ගයෙන් යම් චුතවීමක්, චුතවන බවක්, බිඳීමක්, අතුරුදන්වීමක්, මරණයක්, කළුරිය කිරීමක්, ස්කන්ධයන්ගේ බිඳීමක්, ශරීරයාගේ බහාතැබීමක් වේද, ඇවැත්නි, මේ මරණයයි කියනු ලැබේ.
“ඇවැත්නි, වැළපීම කවරේද, ඇවැත්නි, එක්තරා එක්තරා විනාශයකින් යුක්තවූවහුගේ එක්තරා එක්තරා දුක් ස්වභාවයක් පැමිණියහුගේ යම් ආදෙවයක්, පරිදෙවයක්, හැඬීමක්, වැළපීමක්, හැඬීම ඇතිබවක්, වැළපෙන ස්වභාවයක් වේද, ඇවැත්නි, මේ වැළපීමයයි කියනු ලැබේ.
“ඇවැත්නි, දුක නම් කවරේද? ඇවැත්නි, යම් කයෙහි හටගන්නාවූ දුකක්, කයෙහි හටගන්නාවූ නොසැපයක්, කයේ වැදීමෙන් හටගන්නාවූ දුකක් නොසැපයක්, විඳ ගැනීමක් වේද, ඇවැත්නි, මේ දුකයයි කියනු ලැබේ.
“ඇවැත්නි, දොම්නස කවරේද? ඇවැත්නි, යම් සිතෙහි හටගන්නාවූ දුකක් වේද, සිතෙහි හටගන්නාවූ නොසැපවූ විඳ ගැනීමක් වේද, මනො සම්ඵස්සයෙන් හට ගන්නාවූ දුකක් නොසැපවූවක් විඳගැනීමක් වේද, ඇවැත්නි, මෙය දොම්නසයයි කියනු ලැබේ.
“ඇවැත්නි, දැඩිවූ වෙහෙස කවරේද? ඇවැත්නි, එක්තරා එක්තරා විනාශයකින් යුක්තවූවහුට එක්තරා එක්තරා දුක් ස්වභාවයක් පැමිණියාහුට යම් වෙහෙසක්, දැඩිවූ ශොකයක්, වෙහෙසට පැමිණි බවක්, දැඩිවූ ශොක ඇති බවක් වේද, ඇවැත්නි, මෙය උපායාසයයි කියනු ලැබේ.
“ඇවැත්නි, ඇතුළත තැවීමය, වැළපීමය, කායික දුකය, චෛතසික දුකය, දැඩිවූ ආයාසය යන මොවුන් ස්වභාව කොට ඇති සත්වයන්ට මෙබඳු කැමැත්තක් උපදියි. ‘අපි ඇතුළත තැවීමය, විලාප කීමය, කායික දුකය, චෛතසික දුකය, දැඩිවූ ආයාසය යන මොවුන් ස්වභාව කොට ඇත්තෝ නොවන්නෙමු නම්, අපට ඒකාන්තයෙන් ශොක, පරිදෙව, දුක්, දොම්නස් යන මොහු නොපැමිණෙන්නාහු නම් යහපති, කියායි. මෙය වනාහි කැමැත්තෙන් නොපැමිණිය යුතුයි. මෙයද කැමැති යමක් නොලබයිද, එයද දුක් වේ.
“ඇවැත්නි, සැකෙවින් පඤ්ච උපාදාන ස්කන්ධයෝ දුක් වෙති, යනු කවරහුද, එනම් රූපොපාදාන ස්කන්ධය වේදනොපාදාන ස්කන්ධය, සංඥොපාදාන ස්කන්ධය, සංස්කාරොපාදාන ස්කන්ධය, විඥානොපාදන ස්කන්ධය යන මොහුයි. ඇවැත්නි, මොව්හු සැකෙවින් පඤ්චොපාදාන ස්කන්ධයෝ දුක් වෙත්යයි කියනු ලැබෙත්.
“ඇවැත්නි, මේ දුඃඛාර්‍ය්‍යසත්‍යයයි කියනු ලැබේ.
[/su_spoiler title=""]
“ඇවැත්නි, සම්‍යක් සංකල්පය නම් කවරීද? කාමයන්ගෙන් සිත බැහැර කිරීමෙහි සංකල්පනාවය. ක්‍රොධ නොකිරීම පිළිබඳ සංකල්පනාවය, හිංසා නොකිරීම පිළිබඳ සංකල්පනාවය යන මොහුයි. ඇවැත්නි, මේ සම්‍යක් සංකල්පයයි කියනු ලැබේ.
“ඇවැත්නි, සම්‍යක් වචනය කවරේද? බොරු කීමෙන් වැළකීමය, කේලාම් කීමෙන් වැළකීමය, රළුවචන කීමෙන් වැළකීමය, හිස් කථාවෙන් වැළකීමය යන මොහුයි ඇවැත්නි, මේ සම්‍යක් වචනයයි කියනු ලැබේ.
“ඇවැත්නි, සම්‍යක් කර්මාන්තය නම් කවරේද? සතුන් මැරීමෙන් වැළකීමය, සොරකම් කිරීමෙන් වැළකීමය, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකීමය යන මොහුයි. ඇවැත්නි, මේ සම්‍යක් කර්මාන්තයයි කියනු ලැබේ
“ඇවැත්නි, සම්‍යක් ආජීවය නම් කවරේද? ඇවැත්නි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙම වැරදිවූ ජීවිකාව හැර යහපත්වූ ජීවිකාවෙන් දිවි පැවැත්ම කෙරේද, ඇවැත්නි, මේ සම්‍යක් ආජීවයයි කියනු ලැබේ.
“ඇවැත්නි, සම්‍යක් ව්‍යායාමය නම් කවරේද? ඇවැත්නි, මේ ශාසනයෙහි භික්ෂුතෙම නූපන්නාවූ ලාමකවූ අකුශල ධර්මයන්ගේ නොඉපදීම පිණිස කැමැත්ත උපදවයි. ව්‍යායාම කරයි. වීර්‍ය්‍ය පටන්ගනියි. සිත දැඩිකර ගණියි, උත්සාහ කරයි. උපන්නාවූ ලාමකවූ අකුසල ධර්මයන්ගේ දුරුකිරීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්‍ය්‍යය පටන්ගනියි. සිත දැඩිකර ගනියි. උත්සාහ කරයි. නූපන්නාවූ කුසල ධර්මයන්ගේ ඉපදීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්‍ය්‍යය පටන්ගනියි. සිත දැඩිකර ගනියි. උත්සාහ කරයි. උපන්නාවූ කුසල කර්මයන්ගේ පැවැත්ම පිණිස, මුළා නොවීම පිණිස, වැඩිවීම පිණිස, මහත්වීම පිණිස, භාවනාවෙන් සම්පූර්ණ කිරීම පිණිස ආලය උපදවයි වෑයම් කරයි. වීර්‍ය්‍යය පටන්ගනියි. සිත දැඩිකර ගනියි. උත්සාහ කරයි. ඇවැත්නි, මේ සම්‍යක් ව්‍යායාමයයි කියනු ලැබේ.
“ඇවැත්නි, සම්‍යක් ස්මෘතිය නම් කවරේද? ඇවැත්නි, මේ ශාසනයෙහි භික්ෂුතෙම කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, මනා දැනුම් ඇත්තේ, සිහි ඇත්තේ, ලෝකයෙහි ලොභය හා දොෂය දුරුකොට කයෙහි කය අනුව බලමින් වාසය කරයි. වේදනාවන්හි වේදනාවන් අනුව බලන්නේ, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, මනා දැනුම් ඇත්තේ, සිහි ඇත්තේ, ස්කන්ධ ලොකයෙහි ලොභය හා දොෂය දුරු කොට වාසය කරයි. සිතෙහි සිත අනුව බලන්නේ කෙළෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, මනා දැනුම් ඇත්තේ, සිහි ඇත්තේ, ලෝකයෙහි ලොභය හා දොෂය දුරුකොට වාසය කරයි. කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, මනා දැනුම් ඇත්තේ, සිහි ඇත්තේ, ලෝකයෙහි ලොභය හා දොෂය දුරුකොට ධර්මයන්හි ධර්මය අනුව දකිමින් වාසය කරයි. ඇවැත්නි, මෙය සම්‍යක් ස්මෘතියයි කියනු ලැබේ.
“ඇවැත්නි, සම්‍යක් සමාධිය නම් කවරේද? ඇවැත්නි, මේ ශාසනයෙහි භික්ෂුතෙම කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්මයන්ගෙන් වෙන්ව විතර්ක සහිතවූ, විචාර සහිතවූ, විවෙකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කරයි. විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති සිත පිළිබඳ එකඟ බැව් ඇත්තාවූ, විතර්ක සහිතවූ, විචාර රහිතවූ, සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීයධ්‍යානයට පැමිණ වාසය කරයි. ප්‍රීතිය ඉක්මවීමෙන් උපෙක්ෂා ඇත්තේ වාසය කෙරෙයි. සිහියෙන් යුක්තවූයේ, කයින් සැප විඳියි. යම් ධ්‍යානයක් උපෙක්ෂා ඇත්තේ, සිහියෙන් යුක්තවූයේ, සැප විහරණය ඇත්තේයයි ආර්‍ය්‍යයෝ කියත්ද ඒ තෘතීයධ්‍යානයට පැමිණ වාසය කරයි. සැපය නැතිකිරීමෙන් දුක් නැති කිරීමෙන් කල් ඇතිවම සොම්නස් දොම්නස් දෙක අතුරුදන් කිරීමෙන් දුක් නැත්තාවූද, සැප නැත්තාවූද උපෙක්ෂාවෙන් හටගත් සිහිය පිළිබඳ පිරිසිදු බැව් ඇති චතුර්ථධ්‍යානයට පැමිණ වාසය කරයි. ඇවැත්නි, මේ සම්‍යක් සමාධියයි කියනු ලැබේ. ඇවැත්නි, මේ දුක් නිරුද්ධකිරීම පිණිස ගමන් කරන්නාවූ මාර්ගය නම්, ආර්‍ය්‍යසත්‍යයයි කියනු ලැබේ.
ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරතෙමේ මෙය ප්‍රකාශ කෙළේය. සතුටු සිත් ඇත්තාවූ ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්ගේ වචනය සතුටින් පිළිගත්තාහුයි.
එකළොස් වැනිවූ සච්චවිභංග සූත්‍රය නිමි. (4-11)