චූළසුඤ්ඤත සූත්‍රය
උපුටා ගැනීම:Thripitakaya.org
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි පුවරම් වෙහෙර මුවරමාපායෙහි වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ සවස්කාලයෙහි පිළිසලනින් නැඟීසිටියාහු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේට අභිවාදනය කොට එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ආයුෂ්මත් ආනන්දස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ:
වහන්ස, එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යජනපදයෙහි ශාක්‍යයන්ගේ නාගරක නම් නියම් ගම්හි වැඩ වසන සේක. වහන්ස, එහි දී මා විසින් භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි දී “ආනන්දය, මම දැන් ශුන්යතාවිහාරයෙන් බහුල කොට වෙසෙමි” අසන ලදි. හමුයෙහි දී පිළිගන්නා ලදි. ‘වහන්ස, කිම, මාගේ ඒ ඇසීම සුශ්‍රැත වේ ද? සුගෘහිත වේ ද? මනා කොට මෙනෙහි කරන ලද වේ ද? මොනොවට කළ විමසීමෙක් වේ ද?
ආනන්දය, එකාන්තයෙන් තොපගේ තෙල ඇසීම සුශ්‍රැත වෙයි, සුගෘහිත වෙයි, මනා කොට මෙනෙහි කෙරෙන ලද වෙයි, මොනොවට විමසන ලද වෙයි. ආනන්දය, මම පළමුවත් දැනුත් ශුන්‍යතවිහරණයෙන් බහුල කොට වෙසෙමි. ආනන්දය, යම් පරිදි මේ මුවරමා පැහැය ඇත් ගව අස් වෙළඹුන් ගෙන් ශුන්‍ය වේ ද, රන්රිදියෙන් ශුන්‍ය වේ ද, ස්ත්‍රීපුරුෂ සන්නිපාතයෙන් ශුන්‍ය වේ ද, (එතෙකුදු වුව) මේ අශුන්‍යතායෙක් ද ඇත. කිමෙක යත්: බික්සඟුන් නිසා වන එකත්වය යි. ආනන්දය, එපරිදි ම මහණ ග්‍රාමසංඥා මෙනෙහි නො කොට මනුෂ්‍යසංඥා මෙනෙහි නො කොට අරණ්‍යසංඥා පිණිස එකත්වයක් මෙනෙහි කෙරේ ද, ඒ මහණහුගේ අරණ්‍යසංඥායෙහි සිත දිවෙයි, පහදියි, මොනොවට සිටී, බැස ගනී. ඒ මහණ මෙසේ නුවණින් දන්නේ ය. ග්‍රාමසංඥා නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මෙහි නැත. මනුෂ්‍යසංඥා නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මෙහි නැත. (එතෙකුදු වුව) මේ දරථමාත්‍රයෙක් ඇත, කිමෙක යත්: අරණ්‍යසංඥා නිසා වන එකත්වය යි. ඒ මහණ ග්‍රාමසංඥාව පිලිබඳ මේ සංඥාගතය ශුන්‍ය යයි නුවණින් දන්නේය. මනුෂ්‍යසංඥා පිලිබඳ මේ සංඥාගතය ශුන්‍ය යයි නුවණින් දන්නේය. (එතෙකුදු වුව) ශුන්යතායෙක් ද ඇත, කිමෙක යත්: අරණ්‍යසංඥා නිසා වන එකත්වය යි (කියා ද දන්නේ ය). මෙසේ එහි යමෙක් නැද්ද, එයින් ඒ ශුන්‍ය යයි මොනොවට නුවණින් දනී. යමෙක් එහි ඉතිරි වේ ද, විද්‍යමාන වන එය ඒ මේ අශුන්‍යතාව ඇතැ’ යි නුවණින් දන්නේ ය. ආනන්දය, මෙසෙයිනුදු ඒ මහණ හට තෙල යථාභූතවූ අවිපර්‍ය්‍යස්ත වූ පරිශුද්ධ වූ ශුන්‍යතාවක්‍රාන්තියෙක් වෙයි.
තවද ආනන්දය, මහණ මනුෂ්‍යසංඥා සිත්හි නො කොට, අරණ්‍යසංඥා සිත්හි නො කොට, පෘථිවිසංඥා පිණිස එකත්වය සිත්හි කෙරෙයි. ඔහුට පෘථිවිසංඥායෙහි සිත අවතරණ කෙරෙයි. පහදී, මොනොවට පිහිටයි, නිශ්චයට බැසගනී. ආනන්දය, යම් පරිදි ගෙරි සමෙක් සියක්තුලින් මොනවට හිදුවන ලද්දේ පහවගිය රැළි ඇත්තේ වේ ද, ආනන්දය, එපරිදි ම මහණ මේ පොළොවෙහි යම් උස්පහත් තැන් ඇද්ද, නදීන් හා දුර්ගමස්ථාන ඇද්ද, කණුකටු තැන් ඇද්ද, පර්වතයෙන් විෂම වූ තැන් ඇද්ද, එ හැම සිත්හි නො කොට පෘථිවිසංඥා නිසා එකත්වය මෙනෙහි කෙරේ ද, ඔහුට පෘථිවිසංඥායෙහි සිත බසී, පහදී, මොනොවට පිහිටයි, නිශ්චය කොට ගනී. ඒ මහණ මෙසේ නුවණින් දනී: මනුෂ්‍යසංඥා නිසා යම් දරථ කෙනෙක් ඇද්ද ඔහු මෙහි නැත. අරණ්‍යසංඥා නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මෙහි නැත. වැලිත් මේ දරථමාත්‍රයෙක් ඇත. කිමෙක යත්: පෘථිවිසංඥා නිසා වන එකත්වයයි කියා යි. හේ මනුෂ්‍යසංඥා පිලිබඳ මේ සංඥාගතය ශුන්‍ය යයි නුවණින් දනී, අරණ්‍යසංඥා පිලිබඳ මේ සංඥාගතය ශුන්‍ය යයි දනී, (එහෙත්) මේ අශුන්‍යතායෙක් ද ඇත. කිමෙක යත්: පෘථිවිසංඥා නිසා වන එකත්වයයි කියාත් දනී. මෙසේ එහි යමෙක් නැද්ද එයින් ඒ ශුන්‍ය යයි නුවණින් දකී, එහි යමෙක් ඉතිරි වැ ඇද්ද, විද්‍යමාන වූ එය ඇතැ’ යි නුවණින් දනී. මෙසෙයිනුදු ආනන්දය, ඔහුට යථාභූත වූ අවිපර්‍ය්‍යස්ත වූ පරිශුද්ධ වූ තෙල ශුන්‍යතාවක්‍රාන්තිය වෙයි.
තවද ආනන්දය, මහණ අරණසංඥා මෙනෙහි නො කොට, පෘථිවිසංඥා මෙනෙහි නො කොට ආකාසානඤ්චායතනසංඥා පිණිස ඔහුගේ සිත බසී, පහදී, මොනොවට පිහිටයි, නිශ්චය කොට ගනී, හේ මෙසේ නුවණින් දනී: අරණ්‍යසංඥා නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මෙහි නැත. පෘථිවිසංඥා නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මෙහි නැත. (එහෙත්) මේ දරථමාත්‍රයෙක් ඇත. කිමෙක යත්: ආකාසානඤ්චායතනසංඥා නිසා වන ඒකත්වය කියායි. හේ අරණසංඥා පිලිබඳ මේ සංඥාගතය ශුන්‍ය යයි නුවණින් දනී. පෘථිවිසංඥා පිලිබඳ මේ සංඥාගතය ශුන්‍ය යයි නුවණින් දනී. එහෙත් මේ අශුන්‍යතායෙක් ද ඇත. කිමෙක යත්: ආකාසානඤ්චායතනසංඥා නිසා වන එකත්වය කියාද දනී. මෙසේ එහි යමෙක් නැද්ද, එයින් ඒ ශුන්‍ය යයි නුවණින් දකී, එහි යමෙක් ඉතිරි වැ ඇද්ද, විද්‍යමාන වූ එය ඇති’ යි නුවණින් දනී. ආනන්දය, මෙසෙයිනුදු ඒ මහණහට යථාභූත වූ අවිපර්‍ය්‍යස්ත වූ පරිශුද්ධ වූ තෙල ශුන්‍යතාවක්‍රාන්තිය වෙයි.
තවද ආනන්දය, මහණ පෘථිවිසංඥා මෙනෙහි නො කොට, ආකාසානඤ්චායතනසංඥා මෙනෙහි නො කොට, විඤ්ඤාණඤ්චායතනසංඥා නිසා වන එකභාවය මෙනෙහි කෙරෙයි. විඤ්ඤාණඤ්චායතනසංඥායෙහි ඔහුගේ සිත බසී, පහදී, මොනොවට පිහිටයි, නිශ්චයට යෙයි. හේ මෙසේ නුවණින් දනී: ‘පෘථිවිසංඥා නිසා යම් දරථ කෙනෙක් ඇද්ද ඔහු මෙහි නැත. ආකාසානඤ්චායතනසංඥා නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මෙහි නැත. විඤ්ඤාණඤ්චායතනසංඥා නිසා වන යම් එකීභාවයෙක් වේ ද, මේ දරථ මාත්‍රා මතුයෙක් ඇත කියා යි. හේ පෘථිවිසංඥා පිලිබඳ මේ සංඥාගතය ශුන්‍ය යයි නුවණින් දනී. ආකාසානඤ්චායතනසංඥා පිලිබඳ මේ සංඥාගතය ශුන්‍ය යයි දනී. විඤ්ඤාණඤ්චායතනසංඥා නිසා එකඟභාවයෙක් වේ ද, මේ අශුන්‍යතා ඇති’ යි දනී. මෙසේ එහි යමෙක් නැද්ද, එයින් ඒ ශුන්‍ය යයි නුවණින් දකී, එහි යමෙක් ඉතිරි වැ ඇද්ද, විද්‍යමාන වූ එය ඇති’ යි නුවණින් දනී. ආනන්දය, මෙසෙයිනුදු ඒ මහණහට යථාභූත වූ අවිපර්‍ය්‍යස්ත වූ පරිශුද්ධ වූ තෙල ශුන්‍යතාවක්‍රාන්තිය වෙයි.
තවද ආනන්දය, මහණ ආකාසානඤ්චායතනසංඥා සිත්හි නො කොට, විඤ්ඤාණඤ්චායතනසංඥා සිත්හි නො කොට, ආකිඤ්චඤ්ඤායතනසංඥා නිසා වන එකභාවය මෙනෙහි කෙරෙයි. ඔහුගේ සිත ආකිඤ්චඤ්ඤායතනසංඥායෙහි බසී, පහදියි, මොනොවට පිහිටයි, නිශ්චයට යෙයි. හේ මෙසේ නුවණින් දනී: ‘ආකාසානඤ්චායතන සංඥාව නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මෙහි නැත. විඤ්ඤාණඤ්චායතනසංඥාව නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මෙහි නැත. එහෙත් මේ දරථ මාත්‍රායෙක් ඇත. කිමෙක යත්: ආකිඤ්චඤ්ඤායතනසංඥා නිසා වන එකභාවය යි කියා යි. හේ ආකාසානඤ්චායතනසංඥා පිලිබඳ ශුන්‍ය යයි නුවණින් දනී. විඤ්ඤාණඤ්චායතනසංඥාව පිලිබඳ මේ සංඥාගතය ශුන්‍ය යයි නුවණින් දනී. (එතෙකුදු වුව) මේ අසුඤ්ඤතායෙක් ද ඇත. කිමෙක යත්: ආකිඤ්චඤ්ඤායතනසංඥා නිසා වන එකත්වය වෙතී නුවණින් දනී. මෙසේ එහි යමෙක් නැද්ද, එය ශුන්‍ය යයි නුවණින් දකී, යමෙක් එහි ඉතිරි වැ ඇද්ද, විද්‍යමාන වූ එය ඇති’ යි නුවණින් දනී. ආනන්දය, මෙසෙයිනුදු ඒ මහණහට යථාභූත වූ අවිපර්‍ය්‍යස්ත වූ පරිශුද්ධ වූ තෙල ශුන්‍යතාවක්‍රාන්තිය වෙයි.
තවද ආනන්දය, මහණ විඤ්ඤාණඤ්චායතනසංඥා මෙනෙහි නො කොට, ආකිඤ්චඤ්ඤායතනසංඥා මෙනෙහි නො කොට, නෙවසඤ්ඤානාසඤ්ඤායතන සංඥා නිසා එකත්වය මෙනෙහි කෙරෙයි. ඔහුගේ සිත නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි බැසගෙන සිටී, පහදියි, මොනොවට පිහිටයි, නිශ්චයට යෙයි. හේ මෙසේ නුවණින් දනී: ‘විඤ්ඤාණඤ්චායතන සංඥා නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මෙහි නැත. ආකිඤ්චඤ්ඤායතනසංඥාව නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මෙහි නැත. වැලිත් මේ දරථ මාත්‍රායෙක් ද ඇත. කිමෙක යත්: නෙවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා නිසා වන එකත්වය වෙති’ යි දනී, හේ විඤ්ඤාණඤ්චායතන සංඥාව පිලිබඳ මේ සංඥාගතය ශුන්‍ය යයි නුවණින් දනී. ආකිඤ්චඤ්ඤායතනසංඥාව පිලිබඳ මේ සංඥාගතය ශුන්‍ය යයි දනී. වැලිත් මේ අශුන්යත්වයෙක් ද ඇත, කිමෙක යත්: නෙවසඤ්ඤානාසඤ්ඤායතනය පිලිබඳ එකත්වය වෙති’යි දනී. මෙසේ එහි යමෙක් නැද්ද, එයින් ඒ ශුන්‍ය යයි නුවණින් දකී. යමෙක් එහි ඉතිරි වැ ඇද්ද, විද්‍යමාන වූ එය ඇති’ යි නුවණින් දනී. ආනන්දය, මෙසෙයිනුදු ඒ මහණ හට යථාභූත වූ අවිපර්‍ය්‍යස්ත වූ පරිශුද්ධ වූ තෙල ශුන්‍යතාවක්‍රාන්තිය වෙයි.
තවද ආනන්දය, මහණ ආකිඤ්චඤ්ඤායතනසංඥා මෙනෙහි නො කොට, නෙවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා මෙනෙහි නො කොට, අනිමිත්තචෙතොසමාධිය (විදර්ශනාචිත්ත ස්මධිය) නිසා එකභාවය මෙනෙහි කෙරෙයි. ඔහුගේ සිත අනිමිත්තචෙතොසමාධියයෙහි බැසගෙන සිටී, පහදියි, මොනොවට පිහිටයි, නිශ්චයට යෙයි. හේ මෙසේ නුවණින් දනියි: ‘ආකිඤ්චඤ්ඤායතනසංඥා නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මෙහි නැත. නෙවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මෙහි නැත. වැලිත් මේ දරථමාත්‍රායෙක් ද ඇත. කිමෙක යත්: ‘මේ කය ම නිසා යම් ෂඩායතනප්‍රතිසංයුක්ත වූ ජීවිතයට ප්‍රත්‍යය වූ ප්‍රවෘත්ත දරථමාත්‍රයෙක් ඇති’ යි දනී. හේ ආකිඤ්චඤ්ඤායතනසංඥා පිලිබඳ මේ සංඥාගතය ශුන්‍ය යයි නුවණින් දනී. නෙවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා පිලිබඳ සංඥාගතය ශුන්‍ය යයි නුවණින් දනී. වැලිත් මේ අශුන්‍යතායෙක් ද ඇත. කිමෙක යත්: මේ කය ම නිසා වූ ෂඩායතනප්‍රතිසංයුක්ත වූ ජීවිතප්‍රත්‍යය දරථමාත්‍රායෙක් ඇති’ යි දනී. මෙසේ යමෙක් එහි නැද්ද, එයින් එය ශුන්‍ය යයි නුවණින් දකී. යමෙක් එහි ඉතිරි වැ ඇද්ද, විද්‍යමාන වූ එය ඇති’ යි නුවණින් දනී. ආනන්දය, මෙසෙයිනුදු ඒ මහණ හට යථාභූත වූ අවිපර්‍ය්‍යස්ත වූ පරිශුද්ධ වූ තෙල ශුන්‍යතාවක්‍රාන්ති වෙයි.
තවද ආනන්දය, මහණ ආකිඤ්චඤ්ඤායතසංඥා මෙනෙහි නො කොට, නෙවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා මෙනෙහි නො කොට, අනිමිත්තචේතොසමාධිය සඳහා එකත්වයක් මෙනෙහි කෙරෙයි. ඔහුගේ සිත අනිමිත්තචේතොසමාධියයෙහි බසී, පහදී, මොනොවට පිහිටයි, නිශ්චයට යෙයි. හේ මෙසේ නුවණින් දනියි: ‘අනිමිත්තචෙතොසමාධිය ද අභිසංස්කෘත ය, ආභිසංචෙතසික ය, යම් කිසිවක් අභිසංස්කෘතත්, ආභිසංචෙතසිත් වේ නම් ඒ අනිත්‍ය ය, නිරොධස්භාව ඇති’ යි නුවණින් දනී. මෙසේ දන්නා මෙසේ දක්නා ඔහුගේ සිත කාමාස්රවයන් කෙරෙනුදු වෙසෙසින් මිදෙයි, භවාස්රවයන් කෙරෙනුදු සිත මිදෙයි, අවිද්යාස්රවයන් කෙරෙනුදු සිත මිදෙයි. විමුක්ත වත් මැ විමුක්ත යැ යන ඥානය වෙයි. ජාතිය ක්ෂීණ ය, බ්‍රහ්මචර්‍ය්‍යය වැස නිමවන ලද, කරණී කරන ලද, මේඅර්හත්වය පිණිස මතුයෙහි කිසිදු නැති’ යි නුවණින් දනී. හේ මෙසේ නුවණින් දනී: කාමස්‍රව නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මේ ආර්ය්යමාර්ග-ඵලයෙහි නැත. භවාස්‍රව නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මේ ආර්ය්යමාර්ග-ඵලයෙහි නැත. අවිද්‍යාස්‍රව නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මේ ආර්ය්යමාර්ග-ඵලයෙහි නැත. වැලිත් මේ දරථමාත්‍රයෙක් ද ඇති. කිමෙක යත්: මේ කය ම නිසා ෂඩායතනසම්ප්රයුක්ත ජීවිතප්‍රත්‍යය වූ දරථමාත්‍ර යයි දනී. හේ කාමාස්‍රවයෙන් මේ සංඥාගතය ශුන්‍ය යයි දනී. භවාස්‍රවයෙන් මේ සංඥාගතය ශුන්‍ය යයි දනී. අවිද්‍යාස්‍රවයෙන් මේ සංඥාගතය ශුන්‍ය යයි දනී. වැලිත් මේ අශුන්‍යතායෙක් ද ඇති. කිමෙක යත්: ‘මේ කය ම නිසා ෂඩායතනප්‍රතිසංයුක්ත වූ ජීවිතප්‍රත්‍යය වූ දරථමාත්‍ර සංඛ්‍යාත අශුන්‍යතා යයි දනී. මෙසේ එහි යමෙක් නැද්ද, එයින් ඒ ශුන්‍ය යයි නුවණින් දකී. එහි යමෙක් ඉතිරි වැ ඇද්ද, විද්‍යමාන වූ එය ඇති’ යි දනී. ආනන්දය, මෙසේ ඒ මහණ හට යථාභූත වූ අවිපර්‍ය්‍යස්ත වූ නිරුපක්ලෙශ වූ තෙල පරමානුත්තර ශුන්‍යතාවක්‍රාන්ති වේ.
ආනන්දය, අතීත කාලයෙහි යම් මැ ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රහ්මණ කෙනෙක් හෝ නිරුපක්ලෙශ පරමානුත්තර ශුන්‍යතාඵලසමාපත්තියට පැමිණ විසූහු ද, ඒ හැම මහණ බමුණෝ පරිශුද්ධ පරමානුත්තර මේ ශුන්යතාවට ම පැමිණ විසුහු. ආනන්දය, අනාගත කාලයෙහි යම් මැ ශ්‍රමණ හෝ බ්‍රාහ්මණ කෙනෙක් වෙත් ද, ඔහු පරමානුත්තර පරිශුද්ධ ශුන්‍යතාව උපයා වාස කෙරෙත් ද, එ හැම පරිශුද්ධ පරමානුත්තර මේ ශුන්‍යතාව ම උපයා ගෙන වෙසෙත්. ආනන්දය, දැන් යම් මැ ශ්‍රමණ හෝ බ්‍රාහ්මණ කෙනෙක් පරිශුද්ධ පරමානුත්තර ශුන්යතාවට පැමිණ වෙසෙත් ද, එ හැම පරිශුද්ධ පරමානුත්තර මේ ශුන්යතාවට මැ පැමිණ වෙසෙති. ආනන්දය, එහෙයින් පරිශුද්ධ පරමානුත්තර ශුන්‍යතාව උපයාගෙන වසම්හ’ යි ආනන්දය, මෙසේ තොප හික්මෙන්නේ ය.
භාග්‍යවතුන් වහන්සේ මේ වදාළ සේක. සතුටු සිත් ඇති ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ බුදුවදන් සතුටින් පිළිගත්හ.
පළමුවැනි චූළසුඤ්ඤත සූත්‍ර යි.
මහාසුඤ්ඤත සූත්‍රය
උපුටා ගැනීම:Thripitakaya.org
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැහැජනවියෙහි කිඹුල්වත නිග්‍රෝධාරාමයෙහි වැඩ වසන සේක. එකල භාග්‍යවතුන් වහන්සේ වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරව පාසිවුරු ගෙන කිඹුල්වතට පිඬු පිණිස වැඩි සේක. කිඹුල්වත්හි පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැලැකි සේක් කාළඛෙමක සැහැරජහුගේ විහාරය කරා දිවා විහරණය පිණිස වැඩියෝ. එසමයෙහි කාළඛෙමක සැහැරජහුගේ වෙහෙර පනවන ලද බොහෝ සෙනසුන් ඇත. භාග්‍යවතුන් වහන්සේ කාළඛෙමක සැහැරජහුගේ වෙහෙරෙහි පනවන ලද බොහෝ සෙනසුන් දුටු සේක. දැක භාග්‍යවතුන් වහන්සේට තෙල සිත් වී. කාළඛෙමක සැහැරජහුගේ වෙහෙර පනවන ලද බොහෝ සෙනසුන් ඇත. මෙ වෙහෙර භික්ෂූහු සම්බහුල වශයෙන් වෙසෙත් ද හෝ යි.
එසමයෙහි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ බොහෝ භික්ෂූන් හා සමග ඝටාය නම් ශාක්‍යයන්ගේ විහාරයෙහි චීවරකර්ම කෙරෙති. එක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස්වේලෙහි පිළිසලණින් නැඟී සිටි සේක් ඝටාය නම් ශාක්‍යයන්ගේ විහාරය කරා වැඩි සේක. වැඩැ පැන්වූ අස්නෙහි හුන් සේක. භාග්‍යවතුන් වහන්සේ එහි වැඩ හිඳ ආයුෂ්මත් ආනන්ද තෙරුන් ඇමතූ සේක. “ආනන්දය, කාළඛෙමක ශාක්‍යයන්ගේ විහාරයෙහි සම්බහුල සෙනාසනයෝ පනවන ලද්දාහු වෙති. කිම් මෙහි සම්බහුල භික්ෂූහු වාස කෙරෙත් ද හෝ” යි, පුළුවුත්හ.
වහන්ස, කාළඛෙමක ශාක්‍යයන්ගේ විහාරයෙහි පැන්වූ බොහෝ සෙනසුන් ඇත. මෙහි බොහෝ භික්ෂූහු වාස කෙරෙති. වහන්ස, අපගේ චීවරකාර සමය පවත්නේ යයි පිළිවදන් දුන්හු.
ආනන්දය, සංගණීකාරාම වූ සංගණිකායෙහි ඇලුණු සංගණීකාරාමතායෙහි යෙදුණු ගණාරාම වූ ගණයා කෙරෙහි ඇලුණු ගණයා හා සම්මුදිත වූ මහණ නො හොබනේ ය. ආනන්දය, සංගණීකාරාම වූ සංගණිකායෙහි ඇලුණු සංගණීකාරාමතායෙහි අනුයුක්ත වූ ගණාරාම වූ ගණයා කෙරෙහි ඇලුණු ගණයා කෙරෙහි සම්මුදිත වූ ඒ මහණ යම් ඒ නෛෂ්ක්‍රම්‍යසුඛයෙක් ප්‍රවිවේකසුඛයෙක් උපශමසුඛයෙක් සම්බෝධසුඛයෙක් ඇද්ද, ඒ සුඛය ඒකාන්තයෙන් කැමැති සේ ලබනුයේ නිදුක් ව ලබනුයේ විපුල ව ලබනුයේ වෙයි යන තෙල කරුණ නො වේ. ආනන්දය, යම් මහණෙක් එකලා වූයේ ගණයා කෙරෙන් වෙන් වූයේ වාස කෙරේ ද, ඒ මහණහට තෙල කැමැති විය යුතු ය: “යම් ඒ නෛෂ්ක්‍රම්‍යසුඛයෙක්, ප්‍රවිවේකසුඛයෙක්, උපශමසුඛයෙක්, සම්බොධ සුඛයෙක් ඇද්ද, ඒ සුඛය කැමැති සේ ලබන්නේ නිදුක් ව ලබන්නේ විපුල ව ලබන්නේ වෙයි” යන තෙල කරුණ ඇත.
ආනන්දය, එකැතින් ඒ මහණ ස්වකීය පර්ෂත්සමොධානයෙහි නියැලියේ සිය පිරිස් හා එක්වීමෙහි ඇලුණේ සංගණීකාරාමතායෙහි යෙදුණේ ගණයා කෙරෙහි නියැලියේ ගණයා කෙරෙහි ඇලුණේ ගණයා හා සම්මුදිත වූයේ මනාප වූ රූපාරූපාවචර චිත්ත විමුක්තිය හෝ කෙලෙසුන් විසින් අකොප්‍ය වූ අසාමයික හෙවත් ලොකොත්තර අත්‍යන්ත විමුක්තිය හෝ උපයා වෙසෙන්නේ ය යන තෙල කරුණ නො වේ. ආනන්දය, යම් ඒ මහණෙක් එකලා වූයේ ගණයා කෙරෙන් ව්යපකර්ෂ වූයේ වෙසේ ද, ඒ මහණ හට තෙල කැමැති විය යුතු ය. කිමෙක් යත්: කාන්ත වූ සාමයික චෙතොවිමුක්තිය හෝ අකොප්‍ය වූ අසාමයික චෙතොවිමුක්තිය හෝ උපයා වෙසෙන්නේ ය යන තෙල කරුණ වෙයි.
ආනන්දය, යම් රූපයෙක රාග වශයෙන් ඇලුණක් හට යම් රූපයෙක අභිරක්ත වූවක්හට ඒ රූපයාගේ විපරිණාම අන්‍යථා භාව හේතුයෙන් ශොක පරිදෙව දුඃඛ දෞර්මනස්ය උපායාසයෝ නූපදිත් නම්, මම එබඳු එක ද රූපයක් නුවණැසින් නො දක්මි.
ආනන්දය, තථාගතයන් විසින් මේ විහාරය මොනොවට අවබොධ කරන ලද, කුමක් පිණිස යැ යත්: රූපාදි හැම නිමිති නො මෙනෙහි කිරීමෙන් විෂය අධ්‍යාත්මයෙහි ශූන්‍යත ඵලසාමපත්තිය සපයා වාස කිරීම පිණිස යි. ආනන්දය, ඉදින් මේ විහරණයෙන් වාස කරන ඒ තථාගතයන් කරා මහණ මෙහෙණ උවසු උවැසි රජ රජමහමැති තොටු තොටුසව්වෝ එළඹෙන්නාහු වෙත් ද, ආනන්දය, එ පිරිස්හි තථාගත විවෙක ප්‍රවණ වූ විවෙක ප්‍රාග්භාර වූ ව්යපකර්ෂ වූ නිෂ්කාමාභිරත වූ සර්වප්රකාරයෙන් ආස්‍රවයනට හෙතුභූත ධර්මයන් කෙරෙන් විසංයුක්ත වූ නිවනට නැඹුරු වූ මැ සිතින් එකැතින් යන්නට මෙහෙයන කථායෙන් යුක්ත කථාවක් ම කරනු වෙයි. ආනන්දය, එහෙයින් ඉදින් මහණ ද ගොචරාධ්යාත්මයෙහි ශුන්‍යතාව උපයාගෙන වාසය කරන්නේ නම් මැනැවැ’යි කැමැති වන්නේ ද ආනන්දය, ඒ මහණ විසින් අධ්‍යාත්මයෙහි සිත මොනොවට පිහිටු වියැ යුතු යි, හිඳුවියැ යුතු යි, එකඟ කළ යුතු යි, සමාධාන කළ යුතු යි.
ආනන්දය, කෙසේ නම් මහණ අධ්‍යාත්මයෙහි ම සිත මොනොවට පිහිටුවන්නේ මොනොවට හිඳුවන්නේ එකඟ කරන්නේ සමාධාන කරන්නේ වේ ද යත්: ආනන්දය, මෙ සස්නෙහි මහණ කාමයෙන් වෙන්ව මැ අකුසල දහමින් වෙන් ව සවිතර්ක සවිචාර විවේකජ ප්‍රීතිසුඛ ඇති පළමු දැහැන් උපයා වාස කෙරෙයි. විතර්ක විචාරයන්ගේ ව්‍යපශම හෙතුයෙන් සිත්හි පැහැදීම් කරන සිත පිලිබඳ එකඟ බව ඇති අවිතර්ක අවිචාර සමාධිජ ප්‍රීතිසුඛ ඇති දෙවන දැහැන් … තෙවන දැහැන් … සිව්වන දැහැන් උපයාගෙන වාස කෙරෙයි. ආනන්දය, මෙසේ මහණ අධ්‍යාත්මයෙහි සිත මොනවට පිහිටුවයි, මොනොවට හිඳුවයි, එකඟ කෙරෙයි, සමාධාන කෙරෙයි. හේ සිය පස්කඳෙහි උපන් ශුන්‍යතාව මෙනෙහි කෙරෙයි. අධ්‍යාත්මයෙහි ශුන්‍යතාව මෙනෙහි කරන ඔහුට ශුන්‍යතායෙහි සිත නො බසී, නො පහදී, මොනොවට නො පිහිටයි, නො මිදේ. ආනන්දය, මහණ මෙසේ වූ තෙල සිත මෙසේ නුවණින් දනී: අධ්‍යාත්මයෙහි ශුන්‍යතාව මෙනෙහි කරන මාගේ අධ්‍යාත්මයෙහි ශුන්යතාවට සිත නොබස්නේ ය, නො පහදනේ ය, නො පිහිටන්නේ ය, නො මිදේ ය කියා යි. මෙසේ එහි සම්ප්‍රඥාන ඇති වෙයි. හේ පරපඤ්චස්කන්ධයෙහි ශුන්‍යතා මෙනෙහි කරයි. … හේ ස්ව පර උභය පඤ්චස්කන්ධයෙහි ශුන්‍යතා මෙනෙහි කරයි. … හේ ආනෙඤ්ජ අරූපසමාපත්ති මෙනෙහි කෙරෙයි. අරූප සමාපත්ති මෙනෙහි කරන ඔහුට ආනෙඤ්ජ අරූප සමාපත්තියට සිත නො බසී, නො පහ දී, මොනොවට නො පිහිටයි. නො මිදේ. ආනන්දය, මහණ මෙසේ විද්‍යමාන වූ තෙල සිත මෙසේ නුවණින් දැනගනී: ආනෙඤ්ජය මෙනෙහි කරන මට ආනෙඤ්ජය පිණිස සිත නො බස්නේ ය. නො පහදන්නේ ය. මොනොවට නො පිහිටන්නේ ය. නො බිඳෙන්නේ ය කියා යි. මෙ සේ එහි සම්ප්‍රඥාන ඇති වෙයි.
ආනන්දය, ඒ මහණ විසින් එ මැ පූර්වසමාධිනිමිත්තයෙහි අධ්‍යාත්මයෙහි ම සිත මොනොවට පිහිටුවිය යුතු යැ, මොනොවට හිදුවියැ යුතු යැ, එකඟ කළ යුතු යැ, සමාධාන කළ කළ යුතු යි. හේ අධ්‍යාත්මයෙහි ශුන්‍යතාව මෙනෙහි කරයි. අධ්‍යාත්මයෙහි ශුන්‍යතාව මෙනෙහි කරන ඔහුගේ සිත අධ්‍යාත්මයෙහි ශුන්‍යතාව පිණිස බැසගනී, පහදී, මොනොවට පිහිටයි, මිදේ. ආනන්දය, ඒ මහණ මෙසේ ඇති තෙල සිත මෙසේ නුවණින් දනී: අධ්‍යාත්මයෙහි ශුන්‍යතාව මෙනෙහි කරන මාගේ සිත අධ්‍යාත්මයෙහි ශුන්‍යතාව පිණිස බැසගනී, පහදියි, මොනොවට පිහිටයි, වෙසෙසින් මිදේ යයි කියා යි. මෙසෙයින් එහි සම්ප්‍රඥාන ඇති වෙයි. ඒ මහණ පර පඤ්චස්කන්ධයෙහි ශුන්‍යතාව මෙනෙහි කෙරෙයි … හේ ස්ව පර උභය පඤ්චස්කන්ධයෙහි ශුන්‍යතාව මෙනෙහි කෙරෙයි. ආනෙඤ්ජය මෙනෙහි කරන ඔහුගේ සිත ආනෙඤ්ජය පිණිස බැසගනී, පහදී, මොනොවට පිහිටයි, මිදේ. ආනන්දය, ඒ මහණ මෙසේ ඇති තෙල සිත මෙසේ නුවණින් දනී: ආනෙඤ්ජය මෙනෙහි කරන මාගේ සිත ආනෙඤ්ජය පිණිස බැසගනී, පහදී, මොනොවට පිහිටයි, වෙසෙසින් මිදේ ය යි කියා යි.
ආනන්දය, ඉදින් මේ විහාරයෙන් විහරණ කරන ඒ මහණහට සක්මන පිණිස සිත නැමේ නම් හේ සක්මන් කෙරෙයි. මෙසේ සක්මන් කරන මා අභිධ්‍යා දෞර්මනස්ය සංඛ්‍යාත ලාමක අකුශල ධර්මයෝ ලුහු නො බඳනාහ යි කියා යි. මෙසෙයින් එහි සම්ප්‍රඥාන ඇති වෙයි. ආනන්දය, ඉදින් මේ විහාරයෙන් විහරණ කරන ඒ මහණහට සිටිනු පිණිස සිත නැමේ නම් හේ සිටී. මෙසේ සිටුනා මා අභිධ්‍යා දෞර්මනස්ය සංඛ්‍යාත ලාමක අකුශල ධර්මයෝ නො ලුහුබඳනාහ යි කියා මෙසෙයින් එහි සම්ප්‍රඥාන ඇති වෙයි.
ආනන්දය, ඉදින් මේ විහාරයෙන් විහරණ කරන ඒ මහණහට හිඳිනු පිණිස සිත නැමේ නම් හේ හිඳියි. මෙසේ හිඳුනා මා අභිධ්‍යා දෞර්මනස්ය සංඛ්‍යාත පාපක අකුශල ධර්මයෝ නො ලුහුබඳනාහ යි කියා මෙසෙයින් එහි සම්ප්‍රඥාන ඇති වෙයි. ආනන්දය, ඉදින් මේ විහාරයෙන් විහරණ කරන ඒ මහණහට හෝනා පිණිස සිත නැමේ නම් හේ හොනේ වෙයි. ‘මෙසේ හෝනා මා අභිධ්‍යා දෞර්මනස්ය සංඛ්‍යාත පාපක අකුශල ධර්මයෝ නො ලුහුබඳනාහ’ යි කියා මෙසෙයින් එහි සම්ප්‍රඥාන ඇති වෙයි.
ආනන්දය, ඉදින් මේ විහාරයෙන් විහරණ කරන ඒ මහණහට භාෂ්‍යකථා පිණිස සිත නැමේ නම්, හේ යම් කථායෙක් හීන ග්‍රාම්‍ය පුහුදුනන් කෙරෙහි වැටෙන අනාර්‍ය්‍ය අනර්ථ සංහිත වේ ද, නිර්වෙදය පිණිස නො වැටේ ද, විරාග ය පිණිස නො වැටේ ද, නිරෝධය පිණිස නො වැටේ ද, උපශමය පිණිස නො වැටේ ද, අභිඥා පිණිස නො වැටේ ද, සම්බෝධය පිණිස නො වැටේ ද, නිර්වාණය පිණිස නො වැටේ ද, ඒ කෙබඳු කථා යැ යත්: රාජකථා, චෞරකථා, මහාමාත්‍රකථා, සෙනාකථා, භයකථා, යුද්ධකථා, ආහාරකථා, පානකථා, වස්ත්‍රකථා, ශයනකථා, මාලාකථා, ගන්ධකථා, ඥාතිකථා, යානකථා, ග්‍රාමකථා, නිගමකථා, නගරකථා, ජනපදකථා, ස්ත්‍රීකථා, පුරුෂකථා, සුරාකථා, වීථිකථා, කුම්භස්ථානකථා, පූර්වප්රෙතකථා, නානාත්වකථා, ලොකායතකථා, සාමුද්‍රිකකථා, ඉතිභාවභවකථා යයි මෙසේ හෝ මෙසේ මෙබඳු වූ හෝ කථා නො කියමි’ කියා මෙසෙයින් එහි සමප්‍රඥාන ඇති වෙයි. ආනන්දය, යම් කථායෙක් ක්ලේශයෙන්ගේ තුනුබව කරන්නේ චිත්තයාගේ විනීවරණයට සත්ප්‍රාය වූයේ ඒකාන්ත නිර්වෙදය පිණිස විරාගය පිණිස නිරොධය පිණිස උපශමය පිණිස අභිඥා පිණිස සම්බොධය පිණිස නිර්වාණය පිණිස වැටේ ද, කෙබඳු කථා යැ යත්: අල්පෙච්ඡකථා, සන්තුෂ්ඪිකථා, ප්‍රවිවෙකකථා, අසංසර්ගකථා, වීර්‍ය්‍යාරම්භකථා, ශීලකථා, සමාධිකථා, ප්‍රඥාකථා, විමුක්තිකථා, විමුක්ති ඥානදර්ශනකථා යයි’ මෙසේ මෙබඳු කථා කියමි’ යි කියා මෙසෙයින් එහි සම්ප්‍රඥාන ඇති වෙයි.
ආනන්දය, ඉදින් මේ විහාරයෙන් විහරණ කරන ඒ මහණහට විතර්කය පිණිස සිත නැමේ නම්, ඒ මහණ යම් ඒ විතර්ක කෙනෙක් හීන වූවාහු ග්‍රාම්‍ය වූවාහු පුහුදුනන් කෙරෙහි පවත්නාහු අනාර්‍ය්‍ය වූවාහු අනර්ථසංහිත වූවාහු නිර්වෙදයට නො වැටෙන්නාහු විරාගයට නො වැටෙන්නාහු නිරොධයට නො වැටෙන්නාහු උපශමයට නො වැටෙන්නාහු අභිඥාවට නො වැටෙන්නාහු සම්බෝධියට නො වැටෙන්නාහු නිවනට නො වැටෙන්නාහු වෙත් ද, කෙබඳු විතර්කයෝ යැ යත්: ‘කාමවිතර්ක යැ, ව්‍යාපාද විතර්ක යැ, විහිංසාවිතර්ක යි. මෙසේ මෙබඳු විතර්කයන් විතර්කණය නො කෙරෙමි’ යි කියා මෙසේ එහි සම්ප්‍රඥාන ඇති වෙයි. ආනන්දය, යම් විතර්ක කෙනෙක් ආර්‍ය්‍ය වූවාහු නෛර්‍ය්‍යාණික වූවාහු ඒ විතර්කණ කරනුවන් මොනොවට දුක් කෙළවර කරනු පිණිස පමුණුවත් ද, කෙබඳු විතර්කයෝ යැ යත්: ‘නිෂ්කාමවිතර්ක යැ, අව්යාපාදවිතර්ක යැ, අවිහිංසාවිතර්ක යි. මෙසේ මෙබඳු විතර්කයන් විතර්කණ කෙරෙමි’ යි කියා මෙසෙයින් මෙහි සම්ප්‍රඥාන ඇති වෙයි.
ආනන්දය, මේ කාමගුණයෝ පස්දෙනෙක් වෙති. කවර පස්දෙනෙක යත්: ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වභාව අරමුණු කොට උපදනා කාමයෙන් යුක්ත වූ රාගොත්පත්තියට කාරණ වූ චක්ෂුර්විඥානයෙන් දැක්ක යුතු රූපයෝ යැ … ශ්රොතවිඥානයෙන් දතයුතු ශබ්දයෝ යැ … ඝ්‍රාණවිඥානයෙන් දතයුතු ගන්ධයෝ යැ … ජිහ්වාවිඥානයෙන් වින්දයුතු රසයෝ යැ … ඉෂ්ටාලම්බන වූ කමනීය වූ මනවඩන ප්‍රියස්වභාව අරමුණු කොට උපදනා කාමයෙන් යුක්ත වූ රාගොත්පත්තියට කාරණ වූ කායවිඥානයෙන් දත යුතු ස්ප්‍රෂ්ටව්‍යයෝ යි. යම් කාමගුණයෙක මහණහු විසින් ‘මේ පස්කම් ගුණයෙහි යම් යම් කාමගුණයෙක උපදනා චිත්තසමුදාවාරයෙක් ඇද්දෝ’යි නිතර තම සිත ප්රත්යවේක්ෂා කළ යුතු වේ ද, ආනන්දය, මේ ඒ පස්කම්ගුණයෝ යි. ආනන්දය, ඉදින් මහණ ප්රත්යවේක්ෂා කරනුයේ මෙසේ නුවණින් දන්නේ වේ ද, කිසේ යැ යත්: ‘මේ පස්කම්ගුණයෙහි අන්‍යතර අන්‍යතර ගුණයෙක මාගේ චිත්තසමුදාවාරයෙක් උපදනේ ඇද්ද කියා යි. ආනන්දය, මහණ මෙසේ විද්‍යමාන වූ තෙල කරුණ මෙසේ නුවණින් දන්නේ යැ. කිසේ යැ යත්: ‘මේ පස්කම් ගුණයෙහි යම් ඡන්‍දරාගයෙක් වී නම් මට ඒ ප්‍රහීණ යයි කියා යි. මෙසෙයින් එහි සම්ප්‍රඥාන ඇත වෙයි. ආනන්දය, ඉදින් මහණ ප්රත්යවේක්ෂා කරනුයේ මෙසේ නුවණින් දන්නේ වේ ද, කිසේ යැ යත්: ‘මේ පස්කම් ගුණයෙහි අන්‍යතර අන්‍යතර ආයතනයෙක් මාගේ චිත්තසමුදාවාරයෙක් නැත’ කියා යි. ආනන්දය, ඒ මහණ මෙසේ විද්‍යමාන වූ තෙල කරුණ මෙසේ නුවණින් දන්නේ ය: මේ පඤ්චකාමගුණයන් කෙරෙහි යම් ඡන්‍දරාගයෙක් වී නම්, ඒ මට ප්‍රහීණය කියා යි. මෙසෙයින් එහි සම්ප්‍රඥාන ඇති වෙයි.
ආනන්දය, මහණ යම් උපාදාන ස්කන්ධයෙක උදයව්‍යය නුවණින් දක්නාහු විසින් විසිය යුතු වේ ද, එබඳු මේ උපාදාන ස්කන්ධයෝ පස්දෙනෙකි. රූපය මෙසේ යැ, රූපසමුදය මෙසේ යැ, රූපයාගේ අස්තඞ්ගමය මෙසේ යැ, වේදනා මෙසේ යැ, වේදනා සමුදය මෙසේ යැ, වේදනාවගේ අස්තඞ්ගමය මෙසේ යැ, සංඥා මෙසේ යැ … සංස්කාර මෙසේ යැ … විඥාන මෙසේ යැ, විඥානසමුදය මෙසේ යැ, විඥානයාගේ අස්තංගමය මෙසේ යැ’ යි කියා යි. මේ පඤ්චොපාදානස්කන්ධයෙහි උදයව්‍යය නුවණින් දක්මින් වාස කරන ඒ මහණහට පඤ්චොපාදාන ස්කන්ධයෙහි යම් අස්මිමානයෙක් ඇද්ද, ඒ පහ වෙයි. ආනන්දය, මෙසේ විද්‍යමාන වූ තෙල කරුණ ඒ මහණ මෙසේ නුවණින් දනී: මේ පඤ්චොපාදානස්කන්ධයෙහි යම් අස්මිමානයෙක් වී ද, ඒ මට ප්‍රහීණය කියා යි. මෙසේ එහි සම්ප්‍රඥාන ඇති වෙයි. ආනන්දය, ඒකාන්ත කුශලයෙන් පැමිණි නිකෙලෙස් වූ ලොකයෙහි විශිෂ්ට වූ මරහු විසින් නො ඇක්මුණු ඒ දම්හු නම් මොහු ය:
ආනන්දය, ඒ කෙසේ හඟනෙහි ද ශ්රාවකයා කිනම් අර්ථයක් දක්මින් නෙරතුදු ශාස්තෘන් නුහුබඳනට නිසි වේ ද?
වහන්ස, දහම්හු භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත. භාග්‍යවතුන් වහන්සේ නෙතෘ කොට ඇත. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇත. වහන්ස තෙල භාෂිතයාගේ අර්ථ නුබ වහන්සේට මැ වැටහේ නම් මනාමැනු, භාග්‍යවතුන් වහන්සේගේ බස් අසා භික්ෂූහු ධරති’යි සැල කළෝ.
ආනන්දය, ශ්රාවකයා සූත්‍ර ය, ගෙය ය, වෙය්‍යාකරණ ය යන ඒ හෙතු කොට ශාස්තෘන් වහන්සේ නුහුබඳනට නිසි වෙයි. ඒ කවර හෙයින යත්: ආනන්දය, පැවිදි ව බොහෝ කල් ඇත්තහු විසින් පර්ය්යාප්තිධර්මයෝ අසන ලදහ, ධරන ලදහ, බසින් පුරුදු කරන ලදහ, සිතින් දක්නා ලදහ, ප්‍රඥායෙන් අවබොධ කරන ලදහ. ආනන්දය, යම් ක්ලේශයන්ගේ තුනුබව කරන්නාහු චෙතොවිනීවරණයට සත්ප්‍රාය වූවාහු එකාන්ත නිර්වෙදය පිණිස විරාගය පිණිස නිරොධය පිණිස උපශම පිණිස අභිඥා පිණිස සම්බොධය පිණිස නිර්වාණය පිණිස වැටෙත් ද, ඔහු කවරහ යත්: අල්පෙච්ඡකථා යැ, සන්තුෂ්ටිකථා යැ, ප්‍රවිවෙකකථා යැ, අසංසර්ගකථා යැ, වීර්‍ය්‍යාරම්භකථා යැ, ශීලකථා යැ, සමාධිකථා යැ, ප්‍රඥාකථා යැ, විමුක්තිකථා යැ, විමුක්තිඥානදර්ශනකථා යැ යන මොහු යි. ආනන්දය, ශ්රාවකයා නෙරතුදු මෙවන් කථාහෙතුයෙන් ශාස්තෘන් වහන්සේ නුහුබැඳ යන්නට නිසි වෙයි.
ආනන්දය, මෙසේ ආචාර්‍ය්‍යොපද්‍රව වෙයි, මෙසේ වත් ම අන්තෙවාසිකොපද්‍රව වෙයි. මෙසේ වත් ම බ්‍රහ්මචාරූපද්‍රව වේ.
ආනන්දය, කෙසේ ආචාර්‍ය්‍යොපද්‍රව වේ යැ යත්: ආනන්දය, මෙලො වැ ඇතැම් ශාස්තෘවරයෙක් අරණ්‍ය ය, වෘක්ෂමූල ය, පර්වත ය, කඳුරැලි ය, ගිරිගුහා ය, ශ්මසාන ය, වන ප්‍රස්ථ ය, අභ්‍යවකාශ ය, පලාලපුඤ්ජ යයි විවික්ත ශායනාසන ඇසුරු කෙරෙයි. එසේ එකලා වැ වාස කරන ඔහු වෙත බමුණු ගැහැවියෝ ද නියම්ගම්වැස්සෝ ද දනව්වැස්සෝ ද එළැඹෙත්. හේ බමුණු ගැහැවියනුදු නියම්ගම්වැස්සනුදු දනව්වැස්සනුදු එළැඹෙන කල තෘෂ්ණායෙන් මූර්චඡිත වෙයි නිකාම කෙරෙයි, ගිජුබවට පැමිණෙයි, ප්‍රත්‍යයබාහුල්‍යයට වැටෙයි. ආනන්දය, මේ ආචාර්‍ය්‍යොපද්‍රව යයි කියනු ලැබේ. ආචාර්‍ය්‍යොපද්‍රව හෙතුයෙන් සංක්ලෙශයට හිත වූ පුනර්භවය පිණිස පවත්නා දරථ සහිත දුඃඛවිපාක ඇති මතුයෙහි ජාතිජරාමරණයට හිත වූ පාපක අකුශලධර්‍මයෝ ඒ ආචාර්ය්යවරයා ගුණ මරණයෙන් මැරූහ. ආනන්දය, මෙසේ ආචාර්‍ය්‍යයාහට උපද්‍රව වෙයි.
ආනන්දය, කිසෙයින් අන්තෙවාසිකොපද්‍රව වේ යැ යත්: ආනන්දය, ඒ ශාස්තෘහුගේ මැ සව්වෙක් ඒ ශාස්තෘහුගේ විවේකය අනුව වඩනුයේ අරණ්‍ය ය, වෘක්ෂමූල ය, පර්වත ය, කඳුරු ය, ගිරිලෙන, සොහොන, වනපෙත, අභ්‍යවකාශ ය, පිදුරුකිළිය යන සෙනසුන් ඇසුරු සෙවෙයි. එසෙයින් එකලා වැ වාස කරන ඔහු වෙත බමුණු ගැහැවියන් හා නියම්ගම් වැස්සෝ ද දනව්වැස්සෝ ද එළැඹෙති. හේ බමුණු ගැහැවියන් හා නියම්ගම් වැස්සනුදු දනව්වැස්සනුදු එළැඹෙත් ම තෘෂ්ණාමුර්චඡායෙන් මුසපත් වෙයි, නිකාම කෙරෙයි, ගිජුබවට පැමිණෙයි, බාහුල්‍යයට වැටෙයි. ආනන්දය, මේ අන්තෙවාසිකොපද්‍රව යයි කියනු ලැබේ. අන්තෙවාසිකොපද්‍රව හෙතුයෙන් කෙලෙසන පුනර්භවය කරන දරථ සහිත දුඃඛවිපාක දෙන මතුයෙහි ජාතිජරාමරණ උදාකරන ලාමක අකුසලදහම්හු ඒ අතවැස්සා ගුණමරණයෙන් මැරූහ. ආනන්දය, මෙසේ අන්තෙවාසිකොපද්‍රව වෙයි.
ආනන්දය, කෙසේ බ්‍රහ්මචාරී උපද්‍රව වේ යැ යත්: ආනන්දය, මෙලොවැ අර්හත්, සම්‍යක්සම්බුද්ධ, විද්‍යාචරණසම්පන්න, සුගත වූ, ලොකවිද්, අනුත්තර පුරුෂදම්‍යසාරථි වූ, දෙව්මිනිසුන්ට ශාස්තෘ වූ, චතුස්සත්‍යාවබොධ කළ භාග්‍යවත් වූ තථාගතයන් වහන්සේ උපදනා සේක. ඔබ අරණ්‍ය ය, වෘක්ෂමූල ය, පර්වත ය, කන්දර ය, ගහ්වර ය, ශ්මසාන ය, වනප්‍රස්ථ ය, අභ්‍යවකාශ ය, පලාලපුඤ්ජ යයි විවික්ත ශායනාසන සෙවුති. එසේ එකලා ව වාස කරන ඔබ වෙත බමුණුගැහැවියෝ ද නියම්ගම්වැස්සෝ ද දනව්වැස්සෝ ද පැමිණෙති. ඔබ බමුණු ගැහැවියනුදු නියම්ගම් වැසියනුදු දනව්වැසියනුදු පැමිණෙන කල මුර්චඡිත නො වෙති, නිකාම නො කෙරෙති, ගෙධයට නො පැමිණෙති, බාහුල්‍යයට නො වැටෙත්. ආනන්දය, ඒ තථාගත ශාස්තෘන්ගේ මැ සව්වෙක් ඒ ශාස්තෘන්ගේ විවේකය වඩන්නේ අරණ, රුක්මුල, පව්, කඳුරු, ලෙන, සොහොන, වනපෙත, එළිමහන, පිදුරුකිළි යයි ජනසුන් සෙනසුන් සෙවී. එසේ එකලා වැ වාස කරන ඔහු වෙත බ්‍රාහ්මණ ගෘහපතියෝ ද නිගමවාසීහු ද ජනපදවාසීහු ද පැමිණෙති. හේ බ්‍රාහ්මණ ගෘහපතියනුදු නිගමවාසීනුදු ජනපදවාසීනුදු පැමිණෙත් ම තෘෂ්ණාමුර්චඡායෙන් මුර්චඡිත වෙයි, නිකාම කෙරෙයි, ගෙධයට පැමිණෙයි, බාහුල්‍යයට වැටෙයි. ආනන්දය, මේ බ්‍රහ්මචාරීඋපද්‍රව යයි කියනු ලැබේ. බ්‍රහ්මචාරී උපද්‍රව හෙතුයෙන් සංක්ලේශයට හිත වූ පුනර්භවයට වැටෙන සදර වූ දුඃඛවිපාක වූ මතු ජාතිජරාමරණයට කරුණු වූ ලමු අකුසලදහම්හු ඒ බ්‍රම්සරහු ගුණමරණයෙන් මැරූහ.
ආනන්දය, එහි යම් ආචාර්ය්යොපද්රවයෙක් ඇද්ද, යම් අන්තෙවාසිකොපද්‍රවයෙක් ඇද්ද, ඒ උපද්‍රවයනට වඩා මේ බ්‍රහ්මචාරීඋපද්‍රවය දුඃඛවිපාකතර වෙයි. කටුකවිපාකතර ද වෙයි. තවද විනිපාතයට වැටෙයි.
ආනන්දය, එකරුණෙන් මා මෙත්තාප්‍රතිපත්තියෙන් ව්‍යවහාර කරව, වෙරප්‍රතිපත්තියෙන් ව්‍යවහාර නො කරව, එය තොපට දීර්‍ඝරාත්‍රියෙහි හිත පිණිස සුව පිණිස වෙයි.
ආනන්දය, කෙසේ සව්වෝ ශාස්තෘන් වහන්සේ වෙරප්‍රතිපත්තියෙන් ව්‍යවහාර කෙරෙති යත්: මෙත්තාප්‍රතිපත්තියෙන් ව්‍යවහාර නො කෙරෙතී යත්: ‘ආනන්දය, මෙලොවැ ශාස්තෘන් වහන්සේ අනුකම්පා ඇති වැ හිතෛෂී වැ අනුකම්පා පිණිස සව්වනට දහම් දෙසති. ‘මෙය තොපට හිතපිණිස ය, මෙය තොපට සුව පිණිස ය කියා යි. සව්වෝ ඔබගේ වචනය නො අසනු කැමැති වෙති, කන් නො නතු කෙරෙති, දැනගනුවට සිත නො එළවති, ශාස්තෘශාසනයෙන් ඉවත් වැ වැටෙත්. ආනන්දය, මෙසේ සව්වෝ ශාස්තෘන් වහන්සේ වෙරප්‍රතිපත්තියෙන් ව්‍යවහාර කෙරෙති. මෙත්තාප්‍රතිපත්තියෙන් ව්‍යවහාර නො කෙරෙත්.
ආනන්දය, කෙසේ සව්වෝ ශාස්තෘන් වහන්සේ මෙත්තාප්‍රතිපත්තියෙන් ව්‍යවහාර කෙරෙති යත්: වෙරප්‍රතිපත්තියෙන් ව්‍යවහාර නො කෙරෙතී යත්: ‘ආනන්දය, මෙලොවැ ශාස්තෘන් වහන්සේ අනුකම්පක ව හිතෛෂී ව අනුකම්පා පිණිස සව්වනට දහම් දෙසති. ‘මෙය තොපට හිත පිණිස ය, මෙය තොපට සුව පිණිස ය කියා’ යි. සව්වෝ ඔබගේ වචනය අසනු කැමැති වෙති, කන් නතු කෙරෙති, දැනගන්නට සිත එළවති, ශාස්තෘශාසනයෙන් ඉවත් ව නො ද වැටෙත්. ආනන්දය, මෙසෙයින් සව්වෝ ශාස්තෘන් වහන්සේ මෙත්තාප්‍රතිපත්තියෙන් ව්‍යවහාර කෙරෙති, වෙරප්‍රතිපත්තියෙන් ව්‍යවහාර නො කෙරෙත්. ආනන්දය, එකරුණෙන් මා මෙත්තාප්‍රතිපත්තියෙන් ව්‍යවහාර කරව, වෙරප්‍රතිපත්තියෙන් ව්‍යවහාර නො කරව, එය තොපට දීර්ඝරාත්රයෙහි හිත පිණිස සුව පිණිස වෙයි. ආනන්දය, යම් පරිදි කුම්භකාරයෙක් අපක්ව වූ අමු මැටිබඳුනෙහි ක්‍රියා කෙරේ ද, මම එපරිදි නො පිළිපදිමි. ආනන්දය, මම පුනපුනා නිග්‍රහ කොට කියමි. ආනන්දය, දොස් පුනපුනා නෙර කියමි. යම් සාරයෙක් ඇද්ද, ඒ සිටුනේය කියා යි.
භාග්‍යවතුන් වහන්සේ මේ මහාසුඤ්ඤත සුත වදාළ සේක. සතුටු සිත් ඇති ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හ.