මම මුලින්ම බලන්න පටන්ගත්තේ අඟල් 14න්. කලු සුදු. පසේ ඊට වඩා හොඳට බලන්න 14 වෙනුවට 18ත්, එයින් 21, 28, 32ත් අරන් බැලුවා. මේක බලල ඉවර කරන්න බෑ. දැක්ක දේක සතුට, සැනසුම, ප්‍රීතිය, fun එක තව තව බල බලා ඉන්න එකෙන් ඇරුනාම බැලූ ටිකෙන් “හා දැන් බැලුව ඇති. ආයේ බලන්න ඕන නෑ. මේ ටික හොඳටම ඇති..” කියල නවතින තැනක් තිබුනේ නෑ. හැම දාම අසහනයෙන් මීට වඩා හොඳට බලන්න පුලුවන් විදියක් හෙව්වා… මේ ඇහැ සතුටු කරල ඉවර කරන්න.
ඒත් එහෙම කරන්න ලැබුනේ නෑ.
මේ 32කේ කාලයේදී තමයි තථාගතයාණෝ මේ ඇස පතුල නැති බාල්දියක් වගේය කියා දේශනා කරල තියෙනව කියල අහන්න ලැබුනේ. තව හොයාන යනකොට දැන ගන්න ලැබුනා අනෙක් පහත් ඒ වගේම බාල්දි තමයි කියල. කර කර හිටිය වැඩේ නිස්සාර බව වැටහුනේ එදා. ඒත් එකපාරටම නෙවෙයි. ලගදි මම 32න් 55ට ගියා. හැබැයි දැනගෙන. කලින් කලාට වඩා ගොඩාක් වෙනස්. ගන්නකොටම මම දැනගෙන හිටියා 55ත් මේ හොයන දේ නෑ කියල. ඒක නිසා අර මුලින් තිබූ අසහනය, පිච්චිල්ල, දාහය දැන් නිවිලා.
අනෙක 55 ගන්නකොට කඩේ 65ත් තිබ්බා. 75ත් තිබ්බා. ඊටත් වැඩි ඒවත් තිබ්බා. ඕන නම් ගන්නත් තිබ්බා, ණය වෙලා හරි.
අර මුලින් අහපු ටික අහල තිබ්බේ නැත්නම්, 55 ගෙනාව දවසේ ඉදලත් සැනසිල්ලක් නම් නෑ. 65 මතක් වෙන නිසා. ඒත් ඒ ලෙඩේ යන්තම් සමනය වෙලා තියෙන නිසා 55හෙත් අසාරත්වය දැක දැක ඉන්න පුලුවන් අසහනයට පත් නොවී, ගිනි ගන්නේ නැතිව, හිතේ දැවිල්ල, ඉරිසියාව, ක්‍රෝධය, කෑදර කම අඩුකරගෙන.
මේක තමයි තථාගත පණිවිඩය. නිවනේ නිවීම.
කෙනෙක් හිතුවොත් “නෑ නෑ… මේක විකෘතියක්… නිවීමක් නෙවෙයි. මෙතන සැනසීමක් නෑ” කියල එහෙම වෙන්න හේතු තියෙනවා ද?
මේක තමයි හිතන්න වෙලාව. අපි මේව හිතපු නැති එකේ පාඩුව තමයි අපට උනේ. කවුරු හරි හිතපු දෙයක් අපිට කිව්වාම ඒක විස්වාසයෙන්, අපමණ ශ්‍රද්ධාවෙන්, අපේම නුණුවනින් ගෙඩි පිටින් ගිල්ල එක තමයි වෙච්ච වරද.
මේවා ත්‍රිපිටකය තුල තියෙනවා. තථාගතයාණන් කියා දී තියෙනවා. ඒ නිසා ඒ සත් ධර්මය ශ්‍රවණය කරල සිත නිවා ගන්න. දැන් 55යි. තව ටික කාලෙකින් මම 65 හෝ 75 හෝ කීය හෝ ගනිවී. ඒත් ඇතුලෙන් නිවිල තියෙනවා නම් ඔය කොයිකත් එකයි.
එකලාව ඉන්න.