+1-778-834-5353 info@namaroopa.com
Select Page

සතුටු බව රඟපෑම කොපමණ දුකක් ද?

ප්‍රියයන් හා සම්භාෂණයේ (තේරෙන සිංහලෙන් කිව්වොත්: Party දැමීමේ) ඇති සතුට සොයා විඳින දුක අපමණය. එහි සතුටුවීමට දෙයක් නොමැතිබව හොඳින්ම තේරුම් ගිය විට එම දුක අති මහත් දුකක් ය.

හොරි කසනා යම් කෙනෙක් ගිනි අඟුරු වලක් ලඟට (රස්නය දැනෙන තැනක් ගැන හිතා ගන්න) වී මහත් ආස්වාදයක් විඳිමින් හොරි කසයි. තවටිකකින් මේ හොරි තුවාල වලින් ලේ ගලනා විට දැනෙන වේඳනාව දැන දැනම එහි රසට වහල් වී දැන් ලැබෙන තෘප්තිය (සිංහලෙන් කිවොත්: දැන් තියෙන ආතල් එක) ගැන පමණක් සිතා දිගටම හොරි කසයි. එය මහත් වින්ඳනයක් සේ දකී, බාර ගනී, රස විඳී, නැවත නැවත මතක් කරමින් පසුකාලයක රසවිඳිය හැකි යැයි සිතා- අනාගත අපේක්ෂාවත් ඇතිව සිහින සිතුවිලි තුල අතරමං වී දිගට හොරි කසයි. මෙසේ මහත් ආසාවෙන් හොරි-කසනා බවට පත්වූවෙක් හොරි නොසෑදී රෝගය සුව වීම ගැන සිතයි ද? එම සිතුවිලි තුල සාදන්නේ කුම පටිච්ඡයන්ද? කුමණ පටිච්ඡසමුප්පාදයන් ද? දැන් හිතා බලන්න ඕන මේක කියවන ඔබයි. මෙහෙමත් හිතා බලන්න…

දැන්… තවත් කෙනෙක් සිටී. එයාට තිබූ හොරි රෝගය සුව වී ඇත. හොරි කසා සතුටුවීමේ ආසාවක්, එයින් ලබන තෘප්තියක් ගැන සිතුවිල්ලක් ඒ සිතේ නැත. හොරි කැසීම ගැන වෙනත් කෙනෙක් යෝජනා කලත් ඒ යෝජනාව ගැන හිතනේ මහත් දුකක්, කරදරක්, කම්කටොල්ලක්, හිසරදයක්, ඇනයක් ලෙසයි. හොරි තිබූ කාලයේ නොදන්නා කමට මේ වගේම හොරි කසමින් සතුටු වෙනවා කියා මුලා වී විඳි දුක මතක්වී, එම දුකෙන් මිඳුනා කියා සතුටුවෙයි. හිසේ තියාගෙන ආ බරක් බිම තබා සතුටුවූ දවසක් වේද ඒ දවසේ සතුටු වූවා වාගේ සතුටු වෙයි (නොදන්නා වචන වලින් කිව්වොත්: මේ ප්‍රත්‍යවේක්ෂා නුවණ යි). වටේ පිටේ ඉන්න හයිය හත්තිය තියෙන හතර පස්දෙනෙකුට මේ පැත්තක ඉන්නකෙනා දැක, මෙයාට සතුටු වෙන හැටි උගන්නන්න ඕන කියා සිතා, ගිනි අගුරුවල අසලට එන්න කියයි. එහි ඇති ආතල් වර්ණනා කරයි. ඒ ලඟට එකතුවී කල හැකි දේ ගැන plan කරයි. අනාගත ලාභයක අපේක්ෂාව කියාදී උනන්දු කරවයි. එකඟ නොවුනොත් උස්සාගෙන ගිහින්, බලෙන්ම ගිනි අඟුරු වල අසල තබයි. එහෙම නැති නම් මේ මනුස්සයා යුතු-අයුතුකම්, සමාජයේ එකිනෙකාට වූ බැදිම්, පොරොන්දු තුල සිරකර, පටලවා ගෙන මේ දුක්දෙන (ඒ අය හිත විදියට පට්ට ආතල් එකක් ඇති) ගිනි අඟුරු වල අසලට පමුණුවාලයි. හොරි සුවවූ කෙනා ගිනි අඟුරු රස්නය තමා පුච්චා දමනවා, මහත් අසනයට (දන්න සිංහලෙන් uncomfortable situation එකකට) ඇද දමනාව කියා දැන දැන ගිනි අඟුරු වල අසල දුක් සිහිවී සංවේගට පත්වෙයි. පටලැවිලි තුල සිරවී ගිහිගෙය නැමැති ගිනි අඟුරු වලේ දුක්විදීම දැක දැක කොරගන්න දෙයක් නැති කමින් මේ කෙනා දුක් විදී (මේවා විපාක දුක්… සංඝණිකා දෝෂ — ඒ ටික තේරුණේ නැතිනම් තව බණ අහන්න).

 

 

ඊටත් වඩා දුකක් ඇත. එනම් ගිනි අඟුරු වලේ දුක දැක දැකම, සතුටු බවක් පෙන්වා සිටීමට වීමයි. ගිනි අඟුරු වලේ වේදනාව පෙනි පෙනීම, ගිනි අඟුරු වල මහත් සුවයක් දෙන දෙයක් කියා රඟපෑමට වීමයි. ගිනි අඟුරු වල වටේ වාඩිවී සිටින අයට හොරි කැසීමට, අකැමැත්තෙන් හෝ සතුටු මුහුණක් මවාගෙන උදවු, ආව-තේව, පහසුකම් සැපයීම් (දන්න සිංහලයෙන් කිව්වොත්: support කිරීමට, සප්-එක දීමට) සිදුවීමයි. ලේ හැරව ඕජස් අතේ පයේ ගාගෙන උන්ගේ හොරි මගේ හොරි වගේ කැසීමට සිදුවීමයි. රිදුනොත් ආක්‍රෝසයට පරිභවයට (බැණුම් අහන්න, ගුටි කන්න, හිත් රිදී තරහා වෙන්න, යාලුවෝ ටික නැති කරගන්න…) සිදුවීමයි. දැන් රිදුනේ නැතත් මෙහි දුකක් රිදීමක් මිස සැපක් නම් නැති බව දැන දැනම, ඒ නිසාම එහි අනාගත ආක්‍රෝසය පරිභවය… දුක දැන දැනම — සතුටු බව, ආශ්වාද බව රඟපෑමට සිදුවීම යි.